ශ්‍රේෂ්ඨ ජීවන දැක්මක සුන්දරම අවසානය ලුවී විටෝන් (LV)

බ්‍රෑන්ඩඩ් දේවල් ගැන කතා කරනකොට අපේ ඔලුවට එන ප්‍රකට සන්නාමයක් තමයි ලුවි විටෝන් කියන්නේ. කාන්තා අත් බෑග්, මුදල් පසුම්බි, සෙරෙප්පු ඒ විතරක් නෙවෙයි මේ වෙද්දි ලුවී විටෝන් මාස්ක් පවා වෙළඳපලේ මිලදී ගන්න පුළුවන්. ඉතාම ඉහළ මිල ගණන් වලට තමන්ගේ නිෂ්පාදන වෙළඳපල වෙත සපයන මේ සමාගමේ නිර්මාතෘවරයා වෙන්නේ ලුවී විටෝන් මලේමියර්. ඔහු උපතින් ප්‍රංශ ජාතිකයෙක්. මිල අධික සන්නාම භාවිතා කරන සුන්දර කාන්තාවන්ගේ අංක එකේ තෝරාගැනීම ලුවී විටෝන් වුණත් ලුවී විටෝන් මලේමියර් ගේ ජීවිත කතාව නම් මේ තරම් සුන්දර එකක් නෙවෙයි. 

කවුද මේ ලුවී විටෝන්

පැරීසියෙන් බොහොම ඈත අන්ජේ ජුරා කියන ප්‍රදේශයේ තමයි ඔහු ඉපදෙන්නේ. ඒ 1821 අගෝස්තු මාසේ 4 වෙනිදා. ලුවී ගේ අම්මා හිස්වැසුම් නිර්මාණය කළ කාන්තාවක්. තාත්තා වඩු කාර්මිකයෙක්. ඒ වගේම ගොවිතැන් කිරීමත් ඔවුන්ට ආදායමක් ගෙන ආ තවත් කර්මාන්තයක්. යම් යම් අඟහිග කම් තිබුණා වුණත් ලුවී විටෝන් මේ ගම්පළාතේ බොහොම සුන්දර ජීවිතයක් ගත කළා. හැබැයි ඒ එයාට වයස අවුරුදු 10 ක් වෙනකල් විතරයි. 

එක දවසක් හදිසියේම ඔහුගේ අම්මා මියගියා. අවාසනාව කියන්නේ වැඩි දවසක් යන්න කලින් ලුවී ගේ තාත්තා ත් අම්මා ගිය දිහාවටම ගියා. අවසානෙදි එයාට ඉතිරි වුණේ මේ පවුල දන්නා හඳුනන කාන්තාවක් පමණයි. නමුත් තත්ත්වය ඒ තරම් හොඳ එකක් වුණේ නැහැ. එ නිසා වයස අවුරුදු 13 දී ලුවී නිවසින් පැන යන්න තීරණය කරනවා. 

ඔහු හරිම ශක්තිමත් දරුවෙක්. ඔහුට සැබෑ කරගත යුතු සිහිනයක් තිබුණා. අන්චේ ඉදන් සැතපුම් තුන්සීයක් එපිටින් තිබුණු පැරීසියට ඔහු තනිවම ගමන ඇරඹුවා. පයින්ම. පැරීසියේ දී ඔහුට පුංචි පුංචි වැඩ කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් වුණා. මේ වෙද්දි ප්‍රංශය නැපෝලියන් බොනපාර්ට් ගේ පාලනය යටතේ නිර්මාණය වෙමිනුයි තිබුණේ. ඒ නිසා අලුත් අලුත් දේවල් හදන නිර්මාණකරුවන් වෙත අධිරාජ්‍යයාගේ අවධානය යොමු වෙලා තිබුණා. ඉතින් අවුරුදු 16 වෙද්දි ලුවී විටෝන්ට පුළුවන් වුණා අධිරාජ්‍යයාගේ අවධානය දිනාගන්න. 

මලේටියර්

ලුවී මුලින්ම කළේ ට්‍රන්ක පෙට්ටි හදන එක. ඔහු ඒ වැඩේ බොහොම කලාත්මකව කළා. ඒ වගේම ඒවා ඇතුළට යම් දෙයක් අසුරද්දි වුණත් ඔහු ඒක කලේ හරි පිළිවෙලට. ලස්සනට. ඒ නිසා කවුරුත් මේ නිෂ්පාදනවලට ආස කළා. ඒ දවස්වල ඔහු පැරීසියේ ප්‍රසිද්ධ වුණේ ට්‍රන්ක් මේකර් ඇන්ඩ් පැකර් කියන නමින්. ප්‍රංශ භාෂාවෙන් මලේටියර් කියන්නේ ට්‍රන්ක පෙට්ටි හදන කෙනාට. ඒ නිසා තමයි ඔහුගේ නමේ අගට මලේටියර් කෑල්ලක් එකතු වුණේ. තෙවැනි නැපෝලියන් අධිරාජ්‍යයාගේ බිසව මරියා ඉයුජින් ඉග්නේෂියාට ඇඳුම් ආයිත්තම් දාන්න ට්‍රන්ක පෙට්ටියක් නිර්මාණය කරන්න ඔහුට අවස්ථාව ලැබුණා. ඒ වයස අවුරුදු 16 දී. මේ කාර්ය ඔහු බොහොම පිළිවෙලට කළ නිසා මාළිගයේ මෙවැනි කටයුතු සඳහා බඳවා ගන්නා නැපෝලියන් අධිරාජ්‍යයා පියවර ගන්නවා. එයින් ලුවී ට අනෙක් ප්‍රභූ පවුල් වෙත තමන්ගේ සේවාව සපයන්නත් අවස්ථාව ලැබුණා. 

අවසානයේ දී සුපිරි පැළැන්තිය වෙනුවෙන් නිෂ්පාදන සපයන LV මුළු පැරීසිය පුරාම ජනප්‍රියත්වයට පත්වුණා. 

ඉතාම කුඩා වයසේදී සියල්ල අහිමි වුවත් සිය මඟ වරදා නොගත්  ලුවී විටෝන් වයස අවුරුදු 33 දී විවාහ වෙනවා. ඒ 17 හැවිරිදි ක්ලේමන්ස් එමලි නම් නව යොවුන් තරුණිය සමඟ. වයස අවුරුදු හැත්තෑවේ දි සිය ගමන නිමා කරනතුරුම ඔහු ලෝකයට දායාද කළ හැඩකාර නිෂ්පාදන සියල්ලම බිහිවුයේ කුඩා කළ පටන් ඔහු ලද ආත්මීය අත්දැකීම් ඇසුරින්. 

ජෝජ්ස් ෆෙරෝල් විටෝන් 

සිය පියාගේ ඇවෑමෙන් LV සන්නාමය අතට ගත් ජෝජ්ස් ෆෙරොල් විටෝන් හෙවත් ලුවී විටෝන්ගේ හා ක්ලේමන්ස් එමලි විටෝන්ගේ එකම පුතු සිය පියාගේම අඩිපාරේ යමින් ව්‍යාපාරය තවත් පුළුල් කළා. එය අදවන විට රටවල් 50 ක සාප්පු සංකීර්ණ 50 ක පමණ ව්‍යාප්ත වී තිබෙන්නේ ඒ සාධාරණ උත්සාහයේ ප්‍රථිපයක් විදියට. මේ මොහොත වෙද්දි LV රුසියාව, ජපානය, යුරෝපය පමණක් නොව ඇමරිකාව ද ආක්‍රමණය කර අවසන්. 

ලුවී විටෝන් මේ තරම් ජනප්‍රිය ඇයි?

ඔවුන් නිෂ්පාදන සිදුකරන්නේ වසරේ සෘතු වලට ගැලපෙන ආකාරයට. සෘතුව අවසානයේ ඉතිරිය ටික දිනක් අන්තර්ජාලයේ විකිණිම සිදුකරනවා. නැත්නම් සේවකයන් අතර වට්ටම් සහිතව බෙදා දී ඉතිරි විනාශ කරදැමීම ඔවුන්ගේ සිරිතක්. ලුවී විටෝන් නිෂ්පාදන කිසි දිනෙක සේල් පොළවල දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ හැම නිෂ්පාදනයක්ම ජලයෙන් හා  ගින්නෙන් ආරක්‍ෂිතයි. හිටපු ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් ලුවී විටෝන් රසිකයෙක්. ඒ වගේම ධනවත් පවුල් බොහෝමයක් තමන්ගේ ගෙදර හැමදේම නිර්මාණය කරගන්නේ  ලුවී විටෝන් සමාගමෙන්. ඒක ඔවුන්ට ලැබෙන ගෞරවයක් විදියටයි ඔවුන් සලකන්නේ. 

                                             සුපිරි ගායිකාවක වන රිහානා සිය ලුවී විටෝන් බෑගය සමග 

තමන්ගේ අම්මා තාත්තා දෙදෙනාම නැතිව, හොඳ නරක කියා දෙන්න කිසිම කෙනෙක් නැතිව තමන්ගේ හීනයට ගිය මිනිස්සු කිහිප දෙනා අතර ලුවී විටෝන් ඉදිරියෙන්ම ඉන්නවා. ඒ වගේම ලෝකය උමතුවෙන් වැළඳගන්න තරමටම විලාසිතා ලෝකය අලුත් කළ LV නිෂ්පාදන නිර්මාණය වුණේ නැති දේ ගැන දුක් නොවී දක්‍ෂතාවයට තැන දුන් ඔහුගේම උනන්දුව, විශ්වාසය හා කැපවීම මෙන්ම ශ්‍රේෂ්ඨ ජීවන දැක්මයි.  

Comments