නික් කැරවේයි 1922 දී නිව්යෝර්ක් නගරයට එන්නේ ඒ වෙද්දි ලෝකයේ බහුතරයකගේ හිත ඇතුලේ කැකෑරෙමින් තිබුණු ඇමරිකන් සිහිනය සැබෑ කරගන්න. ඔහුට හොඳ ලියන්නෙක් වීමේ සිහිනයකුත් තිබුණා. ඒ නිසා නිව්යෝර්ක් නගරයෙන් ටිකක් ඈත පළාතක නිදහසේ ලිවිමේ කටයුතු කරගෙන යන්න පහසු පුංචි නිවසක් හොයාගන්න නික්ට පුළුවන් වෙනවා. මේ නිවසට එහා පැත්තෙන් තිබුණා සුවිශාල මන්දිරයක්. හැම තිස්සෙම කාර්යබහුල මේ මන්දිරයේ ප්‍රිය සම්භාෂනයක් සාදයක් නොපැවැත්වුණු දවසක් නැති තරම්. නික් ඒ නිවස ගැන උනන්දු වුණා. එතකොටයි ඔහු දැනගත්තේ මේ මහා මන්දිරයේ ඉන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි කියලා.
ඔහු තමයි එවක ඇමරිකාවේ හිටිය මහා ධන කුවේරයෙක් වුණු ජේ ගැස්බි. ගැස්බි ගේ ජීවිතය නික්ට ගෙන එන්නේ ප්රහර්ශයක්. කිසිම දේකින් අඩුවක් නැති ගැස්බිට සල්ලිවලින් ගන්න බැරි දෙයක් නෑ කියලයි නික්ට හිතුනේ. ස්ත්‍රි පහස, මත් වීම, ලිංගිකත්වය මේ හැමදෙයක්ම ගැස්බි වටා තිබුණා. නික්ට ගැස්බිව පෙනුනේ වීරයෙක් වගේ. ඒ නික් මතුපිටින් දැකපු ගැස්බි විතරයි.
අභ්‍යන්තරයෙන් හිටපු අසම්පූර්ණ ගැස්බිව නික්ට පෙනුනේ නෑ. තමන්ගෙ අන්තිම සතය වියදම් කරලාවත් කවදාවත් දිනාගන්න බැරි අඩුවක් ගැස්බිගෙ ජීවිතේ තිබුණා. ඒ තමයි ආදරය, විශ්වාසය හා පක්ශපාති බව.
The Great Gatsby චිත්‍රපටය පටන් ගන්නේ ඒ විදියට. ඇමරිකානු ගත් කතුවරයෙක් ලෙස ජනාදරයට පත් ස්කොට් ෆිස්ට්ජෙරල්ඩ් ගේ The Great Gatsby නවකතාව ඇසුරෙන් නිෂ්පාදනය වුණු මෙම චිත්‍රපටය හරි අපූරු සමාජ යථාර්තයක් ප්‍රේක්ෂකයා වෙත අරගෙන යනවා. මේ කතාව පුරාවටම දකින්න ලැබෙන හැම චරිතයක්ම සෙල්ලක්කාර, වගකීම් විරහිත චරිත. ඒ තුළින් ඇමරිකානු සමාජ ක්‍රමය අපිට පෙන්වා දෙනවා. සංස්කෘතියක් නොමැති වීම, පරිහාණිය හා විනාශය පෙන්වා දෙන්න ඔවුන් භාවිතා කරලා තියෙන්නේ විවිධ පුද්ගලභාවයන්. ජේ ගැස්බි ගේ නෑනා සහ සහ ඇගේ සල්ලාල සැමියා ටොම් මෙහි ප්‍රධාන චරිත වශයෙන් රංගනයෙන් දායක වෙනවා.
ඔවුන් ජීවත් වෙන්නේ සදාකාලික සිහින ලෝකයක. ඒ ලෝකය යථාර්තයක් නොවෙන අවස්ථාවෙදි තමයි ඔවුන් කාන්තාවන්, මත් ද්‍රව්‍ය හා සාද වලට ගොඳුරු වෙන්නේ. නමුත් එයින් ඔවුන් ලබා ගන්නේ ආතතිය පිරුනු තාවකාලික සතුටක් විතරයි. සමහර අවස්ථාවලදී ඔවුන්ට ලිංගික ආශ්වාදය ලැබෙන්නේ කොහෙන්ද, කාගෙන්ද කියලා අදහසක් නැහැ. එහි අවසානයම ඔවුන් එකිනෙකා විනාශය කරා අරගෙන යන හැටි මේ චිත්‍රපටය තුළින් ඔබට නරඹන්න පුළුවන්.
ගැස්බි තමන්ගේ නෑනාට ආදරය කරනවා. ඇය විවාහක බව දැනගෙනම. ටොම් එක්ක ගෙවන නීරස ජීවිතය නිසාම ඇයත් මේ ආදරයට පැටලෙනවා. ටොම් මේ බව දැනගන්නේ අහඹු විදියට. ඒ වෙද්දි ටොම් ටත් අනියම් පෙම්වතියක් හිටියා. මේ කතාබහ සිදුවීමෙන් පස්සේ ඩේසි එහෙමත් නැත්නම් ටොම් ගේ බිරිඳ, ගැස්බි ගේ නෑනා ඇය තවදුරටත් ටොම් ට ආදරය නොකරන බව පිළිගන්නවා. ඊටපස්සේ ඇය ගොඩ වෙන්නේ ගැස්බි පදවගෙන ආපු ටොම් ගේ මෝටර් රථයට. ගැස්බි අධික වේගයෙන් කාරය ධාවනය කරනවා.
මේ වෙලාවෙදිම ටොම් ගෙ අනියම් පෙම්වතිය හා ඇගේ නීත්‍යානුකූල සැමියා අතර රණ්ඩුවක් ඇතිවෙනවා. මේ රණ්ඩුවට හේතුව වෙන්නෙත් ඇගේ රහස් සම්බන්ධය. රණ්ඩුව අවසානේ ඇය පාරට දුවගෙන එනවා. ඒ එන්නේ ටොම් ගේ වාහනය දැකලා. මේ වාහනය පදවන්නේ ගැස්බි බව ඇය දැනගෙන හිටියේ නැහැ. ඇය වාහනය ඉදිරියට එන්නේ ටොම්ව නවත්වගන්න. නමුත් අධික වේගයෙන් එන ගැස්බිට වාහනය නවත්වගන්න බැරි වෙනවා. වාහනයේ ගැටෙන මේ කාන්තාව මිය යනවා.
පහුවෙනිදා ගැස්බි මඟ බලාගෙන ඉන්නේ ඩේසි තමන් ලගට එනකල්. දුරකථනය නාදවෙන මොහොතේ තමන්ගේ මාරයාත් පැමිණෙයි කියලා ගැස්බි නිකමටවත් හිතන්නේ නැහැ. තමන්ගේ බිරිඳ මැරූ පලිය ගන්න ගැස්බි සොයාගෙන එන ජෝර්ජ් ගැස්බිට වෙඩි තබා මරාදමන්නේ ගැස්බිට එන අවසාන දුරකථන ඇමතුමට පිළිතුරු දෙන්නවත් ඉඩක් නොතියමින්. මොකද ඒ වෙද්දිත් ජෝර්ජ් හිතන්නේ තමන්ගේ බිරිඳගේ පෙම්වතා මෙන්ම මිනීමරුවා ගැස්බි කියලා. අවසානයේ දී ගැස්බි ගේ මරණය බලන්න ඔහුත් එක්ක මේ තරම් කාලයක් තිස්සේ සාද පවත්වපු, විනෝද වුණු කිසිම කෙනෙක් එන්නේ නැහැ. ඔහුගේ මරණයේ තනියට ඉන්නේ නික් විතරයි. අඩුම වශයෙන් ඩේසිවත් එන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්නතුරු පිරිවර සමඟ පාවඩ මතින් ඇවිදපු ගැස්බිට අවසාන මොහොතෙදි කනත්තට යන්න සිදුවෙන්නේ තනියමයි.
මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන ලියනාඩෝ ඩික්‍රැප්‍රියෝ ගැනත් සදහන් නොකරම බැහැ. ඔහු ටයිටැනික් චිත්‍රපටයේ බොළඳ පෙම්වතාගෙන් මිදිලා ජේ ගැස්බි ලෙස ඔබ ඉදිරියට එද්දි ඔබේ සිහියට එන්නේ සුපිරි හොලිවුඩ් නළු මාලන් බැන්ඩ්රෝ. මේ චිත්‍රපටය ඇතුලේ සෙල්ලක්කාර සල්ලිකාරයෙකුගේ චරිතයට ඔහු අති සුවිශේෂි සාධරණයක් ඉටු කරනවා. ඔහුගේ පෙනුම, රංගන හැකියාව, චරිතය තුළ ජීවත් වීම, සියුම් බව චරිතයට ඉටුකරන මෙහෙවර ඉතාම ප්‍රශංසනීයයි. ඒ වගේම සහය චරිත ලෙස ප්රේක්ෂයා ඉදිරියට එන කෙරි මුලින්ගන්, ජොයෙල් එඩ්ගර්ට්න් සහ ජේ ගැස්බි ගේ චරිතය අප වෙත ගෙන එන ටෝබි මාර්ගර් ගේ රංගනය අති විශිෂ්ඨයි. එසේම මෙහි ආරාධිත රංගන ශිල්පියෙක් ලෙස සුපිරි ඉන්දීය නළු අභිතාබ් බච්චන් ද රංගනයෙන් දායක වනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ බස් ලුහාර්මන්. මේ ඔහුගේ අති විශිෂ්ඨතම නිර්මාණයක්.එ වගේම මේ චිත්‍රපටය 1974 නිර්මාණය වුණු The Great Gatsby හි ප්‍රතිනිර්මාණයක්.
ඉතින් ඔබත් වෙලාවක් තියෙනවා නම් මේ චිත්‍රපටය නරඹන්න. මිනිස්සුන්ට තියෙන්න ඕන සල්ලි දීලා ගන්න බැරි වටිනාකම් බව ඔබට අවබෝධ වෙයි. ඒ වගේම මිනිස්සු දකින ඇමරිකන් සිහිනය සහ යතාර්ථය අතර වෙනසත් හරියට මතුපිටින් පේන ගැස්බිගේ ජීවිතේ වගේම හරිම සුන්දර හැබැයි වේදනාකාරි යථාර්තයක් බව ඔබට තේරුම් ගන්න පුලුවන්.
Comments
Post a Comment