මිනිසුන් විද්‍යාගාර මීයන් කළ යුනිට් 731

ඉතාම සාමකාමී ශිෂ්ඨ සම්පන්න මනුෂ්‍යයින් පිරිසක් ජීවත් වෙන රටක් පිළිබඳව ඔබෙන් ඇසුවොත් මුලින්ම මතක් වෙන රට මොකද්ද? නිසැකවම අසල්වැසි ජපානය බව රහසක් නෙවෙයි. ඉතාම ආචාරශීලි, ආගන්තුක සත්කාරයට ලැදි ඔවුන් ශ්‍රි ලාංකික අපේ  කිට්ටුම හිතවතුන් බව අපි හොඳින්ම දන්නවා. දේශපාලනික වශයෙන් අපේ රට අස්ථාවර කරන්නට උත්සහ කරන අවස්ථාවල විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් අපිව අපකීර්තියට පත් කරන්න බටහිර රටවල් කුමන්ත්‍රණය කරන අවස්ථාවල පවා ජපානය හිටගත්තේ අපේ පැත්තෙන්. ඒ අතින් ජපානය කියන්නේ කෘතඥපූර්වකව මතක් කළ යුතු රටක්. ඒ වගේම ජපානය මහායාන බෞද්ධ රටක්. 

හැබැයි මේ තරම් හොඳ ජපානයටත් ඉතාම අපකීර්තිමත් ඉතිහාසගත කතාවක් තියෙනවා. ඒ දෙවනි ලෝක යුද්ධ කාලේ. 

ඔබ අහලා ඇති යුනිට් 731 පර්යේෂණ පිළිබඳව. මෙහි ප්‍රධාන චූදිතයා වෙන්නේ ජපානය. මනුෂ්‍ය සංහතිය භිතියෙන් වෙළාගන්න ඒ වගේම මනුෂ්‍යත්වයට නොගැලපෙන, මනුෂ්‍ය වර්ගයාට නිග්‍රහ කරන මට්ටමේ අශීලාචාර පර්යේෂණ ගණනාවක් සිදුකල යුනිට් 731 ඔබව එක් මොහොතකට සලිත කරන බව විශ්වාසයි. ඒ වගේම මෙය මෙතෙක් ලොව සිදුවුණු අමානුශීයම පර්යේෂණය බව ද සඳහන් වනවා. 

යුනිට් 731 

චීනයේ ෆින්ග් ෆැන්ග් ප්‍රදේශය යටත් කරගැනීමට සමත් වුණු ජපානය ඒ ප්‍රදේශයේ බලය තහවුරු කරගත් පසු තම සැලසුම දියත් කිරීමට පටන් ගත්තා. එහි එක් පියවරක් වුයේ ජෛව අවි නිශ්පාදනයයි. ඒවා බොහෝමයක් වෛරස් වර්ග හා රසායන ද්‍රව්‍යයි. එම ආයුධවල ගුණාත්මක බව හා ක්‍රියාකාරිත්වය පිළිබඳව තහවුරු කරගැනීමේ පර්යේෂණ ආරම්භ වුයේ ඉන්පසුවයි. 

රසායන ද්‍රව්‍ය ඇඟට හැලීම හෝ එන්නත් කිරීම මඟින් යම් පුද්ගලයෙක් මිය යාමට ගතවන කාලය, ඒ කාලය තුළ එම පුද්ගලයාට සිදුවන විපර්යාසයන් ආදිය මැන බැලීමට ඔවුන් මිනිසුන් යොදාගත්තා. සමහර වෛරස් වර්ග එන්නත් කිරීම මඟින් පුද්ගලයන් මිය යන ආකාරය, ගතවන කාලය, එයින් සිදුවන හානිය පිළිබඳව පර්යේෂණ සිදුකලේ ත් සාමාන්‍ය මිනිසුන් යොදාගනිමින්. සමහර පිළිස්සෙන සුළු රසායන වර්ග පණ ඇති මිනිසුන්ගේ සිරුරට හැලීම හා පිළිස්සීම ද ඔවුන් සිදුකර තිබුණා. 

ජපානයට අයත් පර්යේෂණාගාර තුළ විවිධ ජනවර්ගවලට අයත් මිනිසුන් සිරගත කර තිබුණු අතර චීන, ඇමරිකානු හා බි්‍රතාන්‍ය පුරවැසියන් පවා එහි පර්යේෂණාගාර මීයන් ලෙසින් සිරගත වී සිටියා. මෙම පර්යේෂණ හේතුවෙන් පමණක් පුද්ගලයින් 3000 ක් පමණ ජීවිතයෙන් වන්දි ගෙවා තිබුණා. ඉතාම සීතල පරිසරයක ගල්වුනු මිනිසෙක් ඔසවාගෙන විත් පණපිටින් උණු වතුරට දැමීම, පණ පිටින් සැත්කම්වලට භාජනය කිරීම පවා ඔවුන් මේ පර්යේෂණාගාර තුළ සිදුකර තිබුණා. 

ජපන් සොල්දාදුවන්ට ඉලක්කයට වෙඩි තැබීම පුහුණු කිරීම සඳහා ඉලක්ක ලෙස භාවිත කර තිබුණේද මිනිසුන් බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වෙයි. වැරදි ඉලක්ක වලට හසුවීම නිසා මිය නොයාම හා තුවාල වීම, අධික මරණ බියට ලක්වීම වැනි කරුණු නිසා සමහර මිනිසුන් ක්‍ෂණික විශාදයට පවා ගොඳුරු වී තිබුනා.

මෙහි ඛේදවාචකය වන්නේ මෙය පමණක් නෙවෙයි. මෙම පර්යේෂණාගාර අත්පත් කර ගැනීමෙන් පසු මෙහි තිබුණු සියලු පර්යේෂණ අඩංගු ලියකියවිලි අතුරුදහන් වුණා. බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ ඒවා තවමත් ඇමරිකානුවන් සතුව තිබෙනවා කියායි. ඒ අනුව ඉදිරි අනාගතයේ නැවත ඇමරිකාවේ ඈත කෙලවරක මෙවැනි පර්යේෂණ ගැන අසන්නට ලැබුණොත් ඔබ පුදුම වෙන්න අවශ්‍ය නැහැ. 

ඒ ජපානයේ නතර කළ තැනින් ඊළඟ පියවර වෙන්න පුළුවන්. 

Comments