ටිං ටිං ට 90 යි

 



90 ඉපදුණු දරුවන්ගේ ළමා ලෝකය ලස්සන කරපු ටිං ටිං කාට ද මතක 

අද මේ කියන්න යන්නේ අන්න ඒ ටිං ටිං ගැනයි. ටිං ටිං කියන්නේ පුවත්පත් කලාවේදියෙක් එහෙමත් නැත්නම් පත්තරකාරයෙක්. හරිම වචනයෙන් කියනවා නම් ගවේෂණශීලී මාධ්‍යවේදියෙක්. ලෝකයේ එහා කෙලවර ඉදන් මෙහා කෙලවරට යනකල් කුතුහලයෙන් පිරුණු ඕනම දෙයක් ගැන සෙවිල්ලෙන් ඉන්න ටිං ටිං ගේ සුරතලා තමයි ස්නෝවි. සාමාන්‍යයෙන් බල්ලා කියන්නේ සුරතල් සතෙකුට එහා ගිය පවුලේ සාමාජිකයෙක් මට්ටමටම අපිට බොහොම සමීප කෙනෙක්. ඒ නිසාම ඒ යුගයේ නිර්මාණය වුණු හුඟක් කාර්ටූන්වල ඒ කියන්නේ ඇස්ටරික්ස් එහෙමත් නැත්නම් සූර පප්පා කාර්ටූනයේ චූටි කුකු, ස්කූබි ඩු කාර්ටූනයේ ස්කූබී ඩු වැනි බව්වන්ගේ චරිතත් එකතු වෙලා තිබුණේ. 



ඒ වගේම ටිං ටිං ට තවත් යාළුවෝ කිහිපදෙනෙක්ම හිටියා. ඒ අතර කැප්ටන් හැඩොක් ප්‍රධානයි. එයට අමතරව මහාචාර්ය කැල්කියුලස් හා තොම්සන් ඇන්ඩ් තොම්සනුත් හිටියා. එ වගේම මැඩම් බියන්කා කැස්ටපියුරේ. මේ හැම චරිතයක්ම තමන්ගේ වෘත්තීයට අදාලව අපි ඒ වෘත්තීන් ගැන හිතාගෙන ඉන්න විදියේ ලක්‍ෂණ පෙන්වන නිසා තමයි අපිට ඒ චරිත වඩාත් සමීප වෙන්නේ. උදාහරණයට ගත්තොත් මහාචාර්ය කැල්කියුලස්. තමන්ගේ මහාචාර්ය පදවියට අදාල දේවල් ඇරෙන්න මේ ලෝකේ වෙන කිසිම දෙයක් ගැන එයාට අවබෝධයක් නැහැ. කැප්ටන් හැඩොක් ට තියෙන්නේ මුහුද මැද මාස ගණන් ගොඩ බිමක් නොදැක ඉන්න නැවියෙකුට තියෙන තියෙන කලබලය, කේන්තිය, නාහෙට අහන්නේ නැති ගතිය, හා බීමත්කම. තොම්සන් ඇන්ඩ් තොම්සන්ලා ගැනත් කියන්න වෙන්නේ ඒ ටිකම තමයි. ඒ වෘත්තියට අදාල අය ගැන නිකමට හිතලා බලන්නකෝ. 

ටිං ටිං ගේ උපත 



ඔහු ඉපදෙන්නේ බෙල්ජියමේ. නිර්මාතෘවරයා වෙන්නේ හර්ජ් කියන කාර්ටුන් ශිල්පියා. මේක කොමික් ස්ටෝරි එකක්. ඇත්තටම ඒ කාලේ එයාව අදින්නේ ළමා පුවත්පතක කතාවක් විදියට. මුල්ම වතාවට ප්‍රංශයේ දී 1950 ජනවාරි දහවෙනිදා ප්‍රකාශයට පත්වෙන ටිං ටිං දැනට භාෂා 70 කට වඩා පරිවර්ථනය වෙලා තියෙනවා. 


ඇත්තටම ටිං ටිං කියන්නේ ප්‍රංශ ජාතිකයෙක්. ඒ නිසා ස්නෝවිගේ ප්‍රංශ නම විදියට සැලකෙන්නේ මිලෝ. ඒ වගේම එයාගේ වයස අවුරුදු 19 යි. රවුම් මුහුණක් සහ ඉදිරිපස කොණ්ඩය තමයි ටිං ටිං ගේ අයිකනික් පෙනුම වෙන්නේ. හරිම අවංක, කාර්යශූර, කුතුහලයෙන් පිරුණු චරිතයක් විදියට ඔහුව නිර්මාණය කරන්න හර්ජ් මේ පෙනුමත් භාවිත කරලා තියෙනවා. ඒ වගේම එයාගේ පෞර්ෂය බොහොම සාමකාමී ඒ වගේම නිරවුල් එකක්. හැබැයි ඉතින් අවශ්‍ය වුණොත් රණ්ඩුවකට යන්නත් එයාට පුළුවන්. 

බොලිවුඩයට පැමිණීම 



ටිං ටිං ගේ නිර්මාතෘ හර්ජ් 1983 දී මිය යනවා. ඒ වෙනතුරු ඔහු ඇඳපු කාර්ටුන් තමයි තාමත් දකින්න ලැබෙන්නේ. 2011 දී හොලිවුඩයට යන ටිං ටිං ගේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂක ස්ටීවන් ස්ප්‍රීන්බර්ග් අතින්. ඒ වගේම අපි බලන ටිං ටිං ළමා කාර්ටූනය නිර්මාණය වෙන්නේ වර්නර් බ්‍රදර්ස් හෙවත් ඩබ්ලිව් බී ලා අතින්. ඒ කාර්ටූනය අදටත් ලොව පුරා රටවල් ගණනාවක දරුවන් අතර ජනප්‍රියම කාර්ටූනය බවට පත්වෙලා තියෙනවා. 



රටවල් ගණනාවක විවිධ සංචාරවල නිරත වුණු ටිං ටිං අසල්වැසි ඉන්දියාවටත් එනවා. ඒ Cigars Of The Pharaoh   කතාවෙන්. ඒ හැරුණාම චීනයට, ටිබෙටයට, රුසියාවට, ඇමරිකාවට යන ටිං ටිං අන්තිමට හදටත් යනවා. ඒ Explorers On The Moon කාර්ටූනයෙන්. ඒ විතරක් නෙවෙයි පිකාරෝස්ලා, රතු ඉන්දියානුවන්, ඉන්කාවරු වගේ ගෝත්‍රික කණ්ඩායම් පවා ඔහුට මුණගැහෙනවා.  



ලංකාවෙදි ටිං ටිං ව අපිට අරගෙන එන්නේ ජාතික රූපවාහිණි නාලිකාව. පසුකාලයක සිරස රූපවාහිණි නාලිකාව ඔස්සේත් ටිං ටිං විකාශය වීම ආරම්භ වුණා. ඒ වගේම අදටත් ටිං ටිං අපිට සමීප වෙන්න හේතුවුනු ඔහුගේ ලයාන්විත කටහඩේ සැබෑ අයිතිකරු ගැනත් නොකියාම බැහැ. ඔහු ප්‍රවීණ හඬ කැවීම් ශිල්පී සංගීත් කළුබෝවිල මහතා. 

ඒ වගේම තවත් විශේෂ කාරණයක් කියන්න ඕන. අපි වගේම ටිං ටිං ටත් දැන් හුඟක් වයසයි. ඇත්තම කියනවා නම් ඔහුට දැන් 90 ක්. 

ඉතින් එදා වගේම හැමදාම අපිට සමීප වුණු ටිං ටිං ට තවත් දශක ගණනාවක් පුංචි දරුවන්ගේ ලෝකය වර්ණවත් කරන්න අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.   

Comments