බුදු දහම ආගමක් ද දර්ශනයක් ද

 


“බුද්ධ දර්ශනය ඒහි පස්සිකය. එය ඔබට කතා කරන්නේ ඇවිත් බලනු කියා මිස ඇවිත් විශ්වාස කරනු කියා නොවේ”

ආගම හා දර්ශනය අතර ඇත්තේ පැහැදිලි හා වඩාත් පුළුල් වෙනස්කම් වේ. ඒවා එකිනෙකට කිසිසේත්ම සමාන කළ නොහැක. දර්ශන ඇත්තේ යමක් බුද්ධියෙන් විමසා දෝලනය කර පිළිගැනීමට හෝ ප්‍රතික්‍ෂෙප කිරීමටයි. නමුත් ආගම් ඇත්තේ ඇදැහීමටය. එහි කිසිඳු විමසීමක් හෝ ප්‍රශ්ණ කිරීමක් ඇත්තේ නැත. එනම් ආගම් ප්‍රශ්ණ කළ නොහැක. එහි ඇත්තේ යම් ශාස්තෘවරයෙක් විසින් කියන ලද්දක් වන අතර එය ඒ ආකාරයෙන්ම පිළිගැනීම ලබ්ධිකයාගේ කාර්යයකි. කවුරුන් විසින් හෝ ලියන ලද හෝ නිර්මාණය කරන ලද පොතක් කටපාඩම් කරගෙන හෝ ඇදහීමෙන් ආගම් නඩත්තු කරගෙන යාමක් මෙයින් සිදුවේ. 

බුද්ධ දර්ශනය ද ආගමට හාත්පසින් වෙනස් වේ. එයට නඩත්තු කරගෙන යා යුතු යමක් ඇත්තේ නැත. එහි ඇත්තේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන සියලු මුලාවන්ගෙන් ඉවත් වීම පිළිබඳව ඉගැන්වීමකි. දර්ශනයක් පිරිසිදුය. එහි කිසිවිටෙක ඇදහීමක්, ආත්ම වාදයක්, දේවවාදයක් හෝ මරණය මතු ජීවිතය සඳහා කරන ආයෝජනයන් පිළිබඳව කතා කරමින් නඩත්තු කිරීමක් සිදු නොවේ. දර්ශනය හොඳින් දකින පුද්ගලයා මුලාවෙන් ඉවත්ව නිවීමට පත්වෙයි. එහි ඇත්තේ ජීවිතයේ ඕනෑම අවස්ථාවක දී මුලාව හඳුනාගෙන නිවීම හෙවත් නිර්වාණය ලබාගැනීම මිස නිර්වාණය නැමති සංකල්පය නඩත්තු කරමින් පවත්වාගෙන යාම නොවේ. ඒ අනුව දර්ශනය වඩාත් සමීප වෙන්නේ විද්‍යාවටයි. 

උදාහරණයක් ලෙස විද්‍යුත් කිරණය ධාරාවක් වයරයක් හරහා ගමන් කරන ආකාරය ගැන සිතන්න. විද්‍යාවේ උගන්වන්නේ අදාල ධාරාව වයරයක් හරහා ගමන් කරන බව පමණී. ඒ සඳහා යොදාගෙන ඇති වචනය විද්‍යුතයයි. නමුත් විද්‍යුතය යනු අදාල කරුණ පැහැදිලි කිරීම හා අවබෝධ කරවීම සඳහා යොදාගත් වචනය මිස අදාල කාර්යය හෝ එය සිදුවන ආකාරය නොවේ. අප අවබෝධ කරගත යුත්තේ වයරයකින් විද්‍යුත් ධාරාවක් ගලා යාම සිදුවන්නේ මොන ආකාරයට ද සිදුවන්නේ කෙසේ ද ඒ සඳහා සැපිරිය යුතු අවශ්‍යතා මොනවාද යන්න පමණි. ඒ වෙනුවට විද්‍යුතය යන වචනයේ එල්ලී සිටීමෙන් අපට අදාල ක්‍රියාවලිය අවබෝධ කරගත නොහැක. 

නිර්වාණය ද එවැන්නකි. එහි එල්ලී සිටීමෙන් අපිට අවබෝධ කරගත හැකි යමක් නැත. අප තේරුම් ගතයුත්තේ නිර්වාණය හෙවත් නිවීම උදෙසා අප කළ යුතු දේය. එනම් මුලාවෙන් වෙන්ව ආශාවන්ගෙන් ඇලීමෙන් වෙන්ව භෞතික ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන එයින් ඈත්ව ඇලි නොගැටි ජීවත් වීමය. එසේ නොමැතිව මරණින් මතු නිවීමක් ගැන කතා කිරීම හෝ ආත්මවාදී සංකල්ප පිළිබඳව තර්ක කරමින් කාලය නාස්ති කරගැනීම නොවේ. 

ආගමික සංකල්ප මඟින් මිනිසා තුළ අනියත බියක් ඇති කරයි. එමඟින් බලාපොරොත්තු වන්නේ මිනිසා අදාල ආගම වෙත නතුකර තබාගැනීමයි. නමුත් දර්ශනයට එවන් නතු කරගැනීමක් අවශ්‍ය නැත. මේ බිය එක්තරා ආකාරයක ධක්‍ෘ තත්ත්වයකි. “මේ දේ නොකලොත් මෙහෙම වෙයි, මේක කරපු නැති නිසා තමයි මට මෙතනදී මේ විදියට සිදුවුණේ” ආදී ලෙස යමක් කෙරෙහි අනියත බියක් ඇතිවේ. උදාහරණ ලෙස සමහර කෙටි පණීවිඩ දහ වතාවක් ශෙයාර් නොකලොත් එයින් අනතුරක් සිදුවිය හැකිය යනුවෙන් බියක් ඇතිවීම වැනිය. 

නමුත් බුද්ධ දර්ශනයේ එවැනි ගැටළුවක් ඇත්තේ නැත. පන්සල් ගියත් නොගියත්, බුදුන් වැන්දත් නැතත් ඔබ ජීවත් වන්නේ යහපත් ජීවිතයක් නම්, ඔබ ගෙවන්නේ සමාජයට කරදරයක් හෝ හිරිහැරයක් නොවන ආකාරයේ ජීවන විලාසිතාවක් නම්, කොහේ හෝ තිබෙන ප්‍රශ්නයක් ගැටළුවක් බලෙන් අල්ලා තමාගේ ඔඩොක්කුවට දමා නොගැනීමේ බුද්ධිය ඔබ සතු නම්, ඔබ තීරණයක් ගන්නා විට සිය වතාවක් ඒ පිළිබඳව සිතනවා නම්, කටින් වචනයක් කීමට පෙර වඩාත් සැලකිලිමත් වනවා නම් ඔබට ගැටළුවලින් තොර ජීවිතයක් ගත කළ හැකිය. බෞද්ධ දර්ශනයේ ලෝක ධර්මතාවය එයයි. 

එබැවින් ඉතා සැහැල්ලුවෙන් අල්ලා ගත යුතු යමක් වඩාත් තදින් අල්ලාගෙන එයින් පීඩාවට පත්වීම වෙනුවට අට ලෝ දහමට නො ඇලි ජීවත් වීමේ අගය බුද්ධ දර්ශනය උගන්වයි. ආර්ථික ලාභ උදෙසා හෝ වෙනත් සාධනීය නොවන හේතු නිසා බුද්ධ දර්ශනය ඇදහීමක් අවශ්‍ය නොවේ. එය ජීවන දැක්මකි. වැළඳ ගැනීමක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මුලාවෙන් වෙන්වී යහපතෙහි යෙදීම පමණී. බහුතරය යහපතෙහි යෙදෙන විට සමාජය ද නිතැතින්ම යහපතට යොමු වේ. මන්ද යත් බහුතරය අයිති වන්නේ ද සමාජයටම බැවිනි. 

තව ද බුද්ධ දර්ශනය තුළ පවු සමාකරගැනීමක් පිළිබඳව කතා නොකරයි. ඔබ යමක් සිදුකරන්නේ ද එහි ප්‍රථිපලය ඔබටය. ඔබ බොරුවක් වංචාවක් සිදුකරන්නේ නම් එයින් ඇතිවන ප්‍රථිපලය අයිති වන්නේ ද ඔබටමය. එහි කර්ම ඵලය හෙවත් ප්‍රථිපලය වෙනත් කිසිවකු සමඟ බෙදාගත නොහැක. වෙනත් කිසිවකුට පැවරිය නොහැක. 

“මහණෙනි උඳු වපුරා තල නෙලිය නොහැක” යනුවෙන් බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ එයයි. එනම් ඔබ කරන දෙයට අනුව ප්‍රථිපලය ලැබෙනවා මිස පවු සමාවීමක් සිදු නොවේ. නරක් කරන්නේ ද හොඳක් කරන්නේ ද එහි ප්‍රථිපලය බාර ගැනීමටත් ඔබ සූදානම් විය යුතුය. 

(මෙම ලිපියෙන් කියන බුද්ධ දර්ශනය යන වචනය ද එසේමය. අවශ්‍ය කාරණය පැහැදිලි කිරීමට යොදාගත් වචනයක් මිස බුද්ධ දර්ශනය ප්‍රචාරණය කිරීමක් මෙයින් සිදු නොවන බැවින් වචනය අල්ලා ගැනීමෙන් වළකින්න.)


Comments