කිරි කලයට ගොම බිදුවක් වැටීම හෙවත් ආර්‍යන් කාන් ඛේදාන්තය




ශාරුක් කාන් කියන්නේ ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාව ඇමරිකාව, බ්‍රසීලය, රුසියාව, යුක්‍රේනය වැනි රටවල පවා තමන්ගෙම කියලා ෆෑන් බේස් එකක් හදාගත්තු ජනප්‍රියම කාන් කෙනෙක්. ජීවිතේ කිසිම දවසක නරක නාමයක් ගාගෙන නැති, කතාවක් හදාගෙන නැති ඔහු එක් පැත්තකින් විශ්මිත චරිතයක්. අම්මාගේ ලොකුම ආසාව ඉටුකරන්න බොලිවුඩයට එන ඔහු එහි තමන්ගෙම කියලා පුංචි ඉඩක් හදාගන්න ගත්තු වැයම සුලුපටු නෑ. මොකද බොලිවුඩය කියන්නේ එදා ඉදලම පවුල් බලයට යටත් වුනු ඉන්ඩස්ට්‍රි එකක්. අදත් එදත් ඒක එහෙමයි. එහෙම තැනක සෙල්ෆ් මේඩ් ඇක්ටර් කෙනෙක් විදියට ශාරුක් ආපු මේ ගමන සෙල්ලමක් නෙවෙයි. 

අනික් අතින් ශාරුක් කියන්නේ බොලිවුඩයේ ඉන්න අනික් හුගක් නලුවන්ට වඩා වෙනස් කෙනෙක්. එයා එක්ක කවුරු තරහා වුණත් එයා කාත් එක්කවත් තරහා නොවීමේ ගුණය මේ අතරින් ප්‍රදාණයි. විශේෂයෙන්ම සල්මන් හා ශාරුක් අතර ඉතාම දරුණු සීතල යුද්ධයක් තියෙන කාලේ වුණත් ශාරුක් කවදාවත් සල්මන් එක්ක තරහා වුණේ නෑ. වෙන එකක් තියා සල්මන් අත්තඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කල වෙලාවේ එයාගේ ගෙදරට මුලින්ම ගියේ ශාරුක්. 

කොහොම වුණත් ඔහුට මේ ගෙවෙන්නේ ඒ තරම් හොද කාලයක් නෙවෙයි. ගිය අවුරුද්දේ සිදුවුණු සුශාන්ත් සිං රාජ් පුත් සිදුවීමටත් ඔහුගේ නම ගෑවුණා. ඒ බොලිවුඩයේ කාන් මාෆියාව විසින් සුශාන්ත්ට රංගනයට ඇති අවස්ථා අහිමි කලා කියන කතාවත් එක්ක. ශාරුක් තමාගේ ඉතාම හිතවත් අධ්‍යක්ශකවරු ලවා සුශාන්ත්ට චිත්‍රපට චරිත අහිමි කලා කියන එක ඒ කාලේ සෑහෙන්න ජනප්‍රිය වුණා. ඒ විතරක් නෙවෙයි සුශාන්ත්ගේ මරණය ගැන මුනිවත රැකීමත් ඉන්දියානුවන් අතර ඔහු විවේචනයට ලක්වෙන්න හේතුවක් වෙලා තිබුණා. 

මේ කලබල අස්සේ ඔහුගේ චිත්‍රපටයක් අතලගටම එන්න නියමිතව තියෙන වෙලාවක තමයි ඔහුගේ පුතු ආර්‍යන් කාන් මත්ද්‍රව්‍ය සහිත සාදයකදි අත්තඩංගුවට ගත්තේ. දැනට ඔහු ඉන්දීය නාකොටික් හෙවත් NCB යටතේ ප්‍රශ්න කිරීම් වලට ලක්කරනවා. මූලික ප්‍රශ්න කිරීම්වලදි ඔහු පිලිතුරු නොදී හඩා වැටුණු බවත් ඉන්දීය මාධ්‍ය වාර්ථා කලා. වසර හතරක් තිස්සේ ආර්‍යන් කාන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාව සමග සබධතා පවත්වා තියෙන බවටත් තොරතුරු ලැබී තිබෙනවා. 

මේ සිදුවීම ගැන කතා කරන ඉන්දියානුවන් ශාරුක්ට හා බිරිද ගෞරිට චෝදනා කරමින් කියන්නේ ඔවුන් මුදල් හොයන්නයි ජනප්‍රියත්වය හබා යන්නයි මහන්සි වුණා මිසක දරුවෝ කරන කියන දේවල් ගැන හෙව්වේ නෑ කියලයි. අවුරුදු 28ක් පුරාවට ශාරුක් උපයාගත්තු හැම ඉන්දියානු රුපියලක්ම ඔහුගේම හැකියාවෙන් උපයාගත් බව රහසක් නෙවෙයි. නමුත් මුදල් සහ ජනප්‍රියත්වය නිකන් ම ලැබුණු ඔහුගේ දරුවන්ට මුදලේ හෝ ජනප්‍රියත්වයේ වටිනාකම කියා නොදීමම ශාරුක් සිදුකල සුවිශාල අතපසු කිරීමක් බව මේ සිදුවීමෙන් හොදින්ම පැහැදිලි වෙනවා. ජනප්‍රියත්වය හා මුදල් උපයාගතයුතු වත්කම් බව ශාරුක් දරුවන්ට කියලා දුන්නා නම් මේ තරම් විනාසයක් සිදුනොවෙන්නත් තිබුණා. 

කොහොම වුණත් හොද සැමියෙක් ආදරණීය තාත්තා කෙනෙක් වගේ ම බොලිවුඩයේ කිං කාන් විදියට ඔහු උපයාගත් ජනප්‍රියත්වය ඔහුට අහිමි වෙන එකක් නෑ කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. 


Comments