බොලිවුඩය වෙනස් කළ King Khan


ෂාරුක් ඛාන් අද ඔහුගේ 56 වන උපන්දිනය සමරනවා. ඒ පනස් පස් වසරක ජීවිතයේ මුහුණ දුන්නු අමිහිරිම අත්දැකීමට මුහුණ දීලා ගෙවා ගන්න අමාරුම සති කීපයක් ගෙවලා දැම්මට පස්සේ. තමන්ගේ වැඩිමහල් පුතා ආර්යන් ඛාන් මත් ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට ලක්වීම හා ඒ පසුපස ඛාන් පවුල වෙත හඹා ආ අනේක විද ප්‍රශ්න ගැටළු රාශියකට පස්සේ ෂාරුක් සැනසුම් සුසුම් හෙලන මොහොතක තමයි ඔහුගේ ජීවිතයේ 56 වෙනි කඩඉමට ළඟා වෙන්නේ. 

ඉන්දියානු සිනමා ලෝලීන් තුළ අමන්දානන්දයක් ඇති කරන්න සමත්වුණු සුපිරි තරුව ෂාරුක් ඛාන් සිය වසර 28 ක සිනමා ගමන් මග පටන් ගන්නේ ලේසි පහසු තැනකින් නෙවෙයි. බොලිවුඩය කියන අති විශාල සිනමා කර්මාන්තය තුළ තමන්ගේ කියලා කිසිම කෙනෙක් නැතුව දන්න අඳුනන කිසිම කෙනෙක් නැතිව තනියම පටන් ගන්න ගමන නිමා කරන්නේ තමන්ගෙම කියලා අනන්‍යතාවයක් එක්ක. ඉන්දියානුවන් විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල ඉන්න සිනමාලෝලීන් මෙන්ම කිසිම දවසක හින්දි චිත්‍රපට බලලා නැති අය පවා ඔහුට පුදුමාකාර විදියට ආදරය කරන්න හේතුවුණු කාරණා බොහෝමයක් තියෙනවා. 

අදටත් ඔහු තමයි ඉන්දියාවේ ඉන්න රෝමෑන්ටික් නළුවා. ඒ වගේම සරල ගති පැවතුම්, සරල විලාසිතා, චාම් බව, ඒ විතරක් නෙවෙයි ඔහුගේ සිනහව සහ කම්මුල වල ගැසෙන ස්වරූපය පවා ඔහුගේ රසිකයන්ගේ හදවත් මොහොතකට නතර කරන්න සමත් වෙනවා. ෂාරුක් ඒ තරමටම ආකර්ශනීයයි. ඒ නිසාම මේ ලිපියෙන් ඔහු ගැන ආකර්ශනීය කාරණා දහයක් කතා කරන්න අපි හිතුවා. 

01.කැමතිම අංකය 

ෂාරුක් ඛාන්ගේ කැමතිම අංකය වෙන්නේ 555. ඒ නිසාම ඔහු භාවිත කරන වාහනවල අංක 555 දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔහුගේ දුරකථන අංකය ආරම්භ වෙන්නෙත් 555 න්. ඒ වගේම ඔහුගේ කණ්ඩායමේ ඉන්න බොහෝ දෙනෙක්ට අයත් වාහන හා දුරකථන අංකවල අංක 555 තිබෙනවා. 

02. ආචාර්ය උපාධි තුනක්

විදෙස් විශ්ව විද්‍යාල තුනකින් එකිනෙකට වෙනස් විශයන් සඳහා ආචාර්ය උපාධි තුනක් හිමි කරගත් එකම ඉන්දියානු නළුවා වෙන්නේ ෂාරුක් ඛාන් විතරමයි. ඒ වගේම ඔහුට ස්කොට්ලන්තයේ එඩිම්බරෝ සරසවියෙන් ගෞරව උපාධියක් ද හිමිවුනා. ඒ අනුව ඔහු දැන් හඳුන්වන්නේ ආචාර්ය ෂාරුක් ඛාන් නමින්. 

03. ලෝකයේ දෙවන ධනවත්ම නළුවා

සමහර වෙබ් අඩවිවලට අනුව ෂාරුක් ඛාන් ලෝකයේ දෙවන ධනවත්ම නළුවා කියලා කිව්වත් ඔහු නම් එහෙම කියනවට කැමති නැහැ. ඒ වගේම ඔහුට අයත් පුද්ගලික ජෙට් යානයක් තිබෙන බවට රාවයක් පැතිර ගියත් ඇත්තටම ඒ කතාවත් ඇත්ත නෙවෙයි කියලා තමයි ෂාරුක් කියන්නේ. 

04. නයිට්වරයෙක් 

මැලේෂියානු රජය විසින් ෂාරුක් ඛාන්ට ගෞරවයක් ලෙස නයිට් පදවියක් ලබාදී තිබෙනවා. ඒ ඔහු සිනමා ක්‍ෂෙත්‍රය උදෙසා කළ සේවය වෙනුවෙන්. ඒ අනුව ඔහුට ශ්‍රිමත් ෂාරුක් ඛාන් කියලා කියන්නත් පුළුවන්. 

05. මිත්‍ර සමාගම 

ෂාරුක් ඛාන් සතු එක් සුවිශේෂි ලක්‍ෂණයක් තිබෙනවා. ඒ තමයි ඔහු කිසිම පුද්ගලයෙක් එක්ක කිසිම හේතුවක් නිසා තරහා නොවීම. කවුරු ෂාරුක් එක්ක තරහා වුණත් ෂාරුක් කවදාවත් ඒ පුද්ගලයා එක්ක තරහා වෙන්නේ නැහැ. මේ කතාවට හොඳම උදාහරණය වෙන්නේ සල්මන් හා ෂාරුක් අතර තියෙන යාළුකම. ජාත්‍යන්තර මාධ්‍ය කියන විදියට මේ දෙන්නා අතර තියෙන්නේ ටොම් ඇන්ඩ් ජෙරි මට්ටමේ යාළුකමක්. දෙන්නට දෙන්නා අතර එහෙමටම සම්බන්ධයක් නැහැ. නමුත් අවශ්‍ය වෙලාවෙදි ඒ දෙන්නා තරම් දෙන්නට උදව් කරගන්න වෙන දෙන්නෙකුත් නැහැ. කොහොම වුණත් ෂාරුක් ගේ හොඳම යාළුවා වෙන්නේ චිත්‍රපට අධ්‍යක්‍ෂ කරන් ජොහාර්. ඒ වගේම හොඳම මිතුරිය වෙන්නේ කාජල්. 

06. සිගරට්වලට ඇබ්බැහි වුණු පුද්ගලයෙක් 

ෂාරුක් කියන්නේ එක්තරා කාලයක් සිගරට්වලට තදින්ම ඇබ්බැහි වුණු කෙනෙක්. ඔහු දවසකට සිගරට් 20 කටත් වඩා බිව්වා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. නමුත් පස්සේ කාලෙක ඔහු එම පුරුද්දෙන් මිදිලා ඒ සියලු මුදල් සුබසාධන කටයුතු වෙනුවෙන් වෙන් කළා.

07. පරිත්‍යාගශීලි පුද්ගලයෙක්

ෂාරුක් කියන්නේ බොහොම පරිත්‍යාගශීලි පුද්ගලයෙක්. වර්ෂ 1998 දී හොඳම නළුවා ලෙස සිනේ සම්මාන උළලේ දී ලැබුණු සම්මානය ඔහු ඒ මොහොතේම සල්මන් ඛාන්ට ලබාදෙනවා. ඒ ඔහු තමාටත් වඩා අති සාර්ථක රංගන ශිල්පියෙක් ලෙස පවසමින්. 

08. පද්ම ශ්‍රි සම්මානය 

සෑම ඉන්දියානුවෙකුටම තම ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන දැනට ඉන්දියාවේ ඇති ඉහළම සම්මානය වන පද්ම ශ්‍රි සම්මානයෙන් පිදුම් ලැබීමට ද ෂාරුක් ඛාන් වාසනාවන්ත වුණා. ඒ ඉන්දියානු සිනමා ක්‍ෂෙත්‍රය වෙනුවෙන් ලබාදුන් සේවය අගයමිනි. 

09. අමුතු නමක්

ෂාරුක් මුස්ලිම් ජාතිකයෙක් නිසා ආච්චි අම්මා හිතලා තියෙන්නේ ඔහුට අබ්දුල් රහුමාන් ලෙස නම තියනවා කියලයි. නමුත් ෂාරුක් ගේ අම්මා ඔහුට ෂාරුක් ඛාන් කියලා නම තියන්නේ ඒක ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නමක් වෙයි කියලා හිතපු නිසයි. අවසානෙදි අම්මා හිතුවා වගේම ෂාරුක් ඛාන් කියන නම ඉන්දියාවේ පුරාවෘත්තයක් බවට පත්වුණා. 

10. හැමදාම දුක්වෙන එකම හේතුව

මේ මොනදේ තිබුණත් ෂාරුක් හැමදාම දුක්වෙන එක කාරණයක් තිබෙනවා. ඒ තමන් සාර්ථක නළුවෙක් වෙද්දි ඒක දකින්න අම්මයි තාත්තායි ජීවතුන් අතර නැති වීම. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ දිත් ඔහු වරක් මේ ගැන කථා කරනවා. 

“මට මේ සම්මානය වටින්නේ මගේ අම්මයි තාත්තායි මගේ ළඟ හිටියා නම් විතරයි. මොකද මගේ අම්මට තමයි මාව දිලීප් කුමාර් වගේ නළුවෙක් කරන්න ඕන වුණේ.”

කොහොම වුණත් ජීවිතයේ බොහෝ ජයග්‍රහණ අත්කරගත් ෂාරුක් ඛාන් කියන්නේ ආදර්ශමත් චරිතයක් බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ. පොත් කියවීම හා චිත්‍රපට නැරඹීම විනෝදාංශය කරගත් ඔහු කිසිම දවසක ඔහුගේ පළමු චිත්‍රපටය නරඹලා නෑ කිව්වොත් ඔබ පුදුම වෙයි. ඒ වගේම ඔහු කවදාවත් ඔහුගේ අවසාන චිත්‍රපටය බලන්නෙත් නෑ කියලා තමයි කියන්නේ. 

ඉතින් ආදරණීය සැමියෙක්, හොඳ තාත්තා කෙනෙක් වගේම ආදර්ශමත් පුද්ගලයෙක් විදියට නමක් දිනාගෙන ඉන්න ෂාරුක් ඛාන් ට සුබ උපන්දිනයක් වේවා. 

https://indiashorts.com/top-unknown-and-interesting-facts-about-shahrukh-khan/40077/

https://www.indiatoday.in/movies/bollywood/story/happy-birthday-shah-rukh-khan-turns-51-unknown-interesting-facts-349622-2016-11-01


 


Comments