ඔන්න පුතේ ඇතිනියා
ගල් අරබේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා
පුංචි පැටියා උස් මහත් වෙනකල් කවි කියන්න නලවන්න රාජකාරිය අතට ගත්තේ අත්තම්මා. සීයා උන්නේ පැලේ. පැටියාගේ තාත්තා ආණ්ඩුවේ රාජකාරියට බැදිලා හිටියා. ගෑණු කෙනෙකුට බොහොම හොදට ගැලපුනේ ගුරු වෘත්තිය නිසා හුගක් අම්මලා දරුවන්ගේ ඇස් දෙක පාදන්න ඉස්කෝලේ ගියා. ඉතින් පැටියාගේ තනියට හිටියෙ අත්තම්මා. අත්තම්මා කියලා දුන්නේ හරිම අපූරු රජ කතා. මේ කතාවල අපේ අභිමානය, ප්‍රෞඩත්වය, ශක්තිය හැංගිලා තිබුණා. අපි යක්කුන්ගෙන් පවා වැඩගත්තු ජාතියක් බව පැටියා ඉගෙන ගත්තේ පුංචි කාලෙමයි. ඇස්, ඉස්, මස් ලේ දන් දුන්න ජාතික වීරයන් ගැන පැටියා අත්තම්මාගෙන් ඉගෙන ගත්තා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන එක මොනතරම් උතුම්, මා හැගි කාර්‍යයක්ද කියලා පැටියා පුංචි කාලෙම දැනගෙන හිටියා.
සමාජය බොහොම ඉක්මනින් වෙනස් වෙමින් ලොකු ගමනක් ආවා. චාල්ස් ඩාවින් එහෙමත් නැත්නම් මානව පරිණාමවාදයේ පියා හැටියට හදුන්වන මහා විද්‍යාඥයා කියනවා වතාවක් " වෙනස්වන ලෝකය සමග වෙනස් නොවෙන මිනිසා ඉක්මනින් වද වෙනවා" කියලා. ඉතින් අපි වද වෙන්න තියෙන බය නිසාම සීග්‍රයෙන් ඒ වෙනස පස්සෙන් වෙනස්වෙමින් දුවගෙන ආවා. අපිට ආපහු හැරිලා බලන්න වෙලාවක් තිබ්බේ නෑ. අනිත් අය ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නෑ. සොබාදහම ගැන සලකන්න වෙලාවක් වෙන් කලේ නැහැ. ඉස්සර ගහක් කපන්න කැලේට ගියාම කැලෑ දෙයියන්ගෙන් අවසර ගත්තට අපිට ඊට පස්සේ ඒකට වෙලාවක් වෙන්න කරන්න උනේ නෑ. මොකද අපි ඒ තරමට කාර්‍යබහුල වුණා. අපිට බොහෝ හබායෑම් කරන්න තිබුණා. එකා පස්සේ එකා පරදවන්න ලොකුගමනක් යන්න සිද්ද වෙනකොට අපිට තවත් බොහෝ වටිනාකම් ගිලිහෙන බව මතක් වුණේ නැහැ.
හොද පොත්පත් කියවන පුරුද්ද මගහැරිලා ඒ වෙනුවට ස්මාර්ට් දුරකථනය අතට ආවා. ඒ හරහා වුණත් පොත් කියවන්න පුලුවන්කම තිබුණත් ඒ වෙනුවට අපිට වෙනත් විකල්ප ඕන තරම් හමුවුණා. දැන් අපිට තාක්ශණිකව අනුන්ගේ දේවල් හොයන්න පුලුවන්. සරල සිංහලෙන් ටයිප් කරලා විවේචනය කරන්න පුලුවන්. සමහර ප්‍රශ්න තවදුරටත් ප්‍රශ්න නෙවෙයි. ඒවා බොහොම ලේසියෙන් සමාජය ඉස්සරහට අරන් ගිහින් සමාජ ප්‍රශ්න බවට පත් කරන්න දැන් අපිට පුලුවන්.
පහුගිය දවසක ගුවන් විදුලි නාලිකාවක හරි අපූරූ කතාවක් කිව්වා. මේ කියන නිවේදකයාගේ ගෙ මිතුරෙක් තමන්ගේ දරුවා එක්ක ආපු වෙලාවක සිදුවුණු දෙයක් මේ. අර පුංචි පුතා පොත් රාක්කේ තිබිලා අනුරාධපුර පොලොන්නරු ඉතිහාසය පිලිබද පොතක් අරගෙන තියෙනවා. ඒ පොතේ පිටු කීපයක් පෙරලලා බලපු මේ දරුවා " කවුද අංකල් මේ අංකල්" කියලා අහලා. වෙන කවුරුත් නෙවෙයි පුලතිසි සෘශිවරයාගේ පිතූරයක් පෙන්නලා.
ඔබට මේ කතාව විහිලුවක් වෙන්න පුලුවන්. නමුත් මොහොතක් හිතන්න. සුපර් මෑන්, සපයිඩර් මෑන්, බැට් මෑන් ගැන දන්න දරුවෙක් අපේ පුලතිසි සෘශිවරයා දන්නේ නෑ කියන එක මොනතරම් දුක හිතෙන දෙයක්ද. ඔබ ලේසියට ඔබේ දරුවට ජංගම දුරකතනය අතට දෙනවා. යූ ටියුබ් එකේ වීඩීයෝවක් දෙක ප්ලේ කලාම දරුවා ඔබට කරදර කරන්නේ නෑ. ඔබ තාවකාලිකව ඔබේ ප්‍රශ්නය විසදා ගන්නවා. නමුත් දරුවා???අඩුම වශයෙන් වෙලාවක් අරගෙන දරුවාට ඉතිහාසය කියලා දෙන්න. එලිය ඇවිදින්න එක්ක යන්න. අපේ ගහකොළ, බෙහෙත් වර්ග ගැන කියලා දෙන්න. සත්තු ගැන කියලා දෙන්න. උගත් එහෙත් මොලයක් නැති මනුස්ස සබධතා අදුනන්නේ නැති දරුවෙක් හදලා ඇති පලය මොකද්ද. දරුවට මනුස්සකම් උගන්වන්න. දරුවත් එක්ක එකතු වෙලා අසරණ සතෙකුට පිහිට වෙන්න. ගහක් හිටවන්න. සොභාදහමට ආදරය කරන්න උගන්වන්න.
Comments
Post a Comment