ලෝකය වෙනස් කළ කාර්මික විප්ලවය


අතීතයේ මිනිසුන් සිය ශ්‍රමය යොදාගනිමින් භාණ්ඩ නිෂ්පාදනයට හුරු වුණු අතර අවශ්‍ය ප්‍රමාණයට හා අවශ්‍යතාවයට අනුව පමණක් නිශ්පාදනයන් සිදුවිය. මේ තත්ත්වය වෙනස් වුයේ කාර්මික විප්ලවයත් සමගය. එතෙක් යොදාගත් මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගැනීම සිදුවුයේ කාර්මික විප්ලවයේ ප්‍රථිපලයක් ලෙසිනි. එය කාර්මික හා තාක්‍ෂණික  ක්‍ෂත්‍රයේ සිදුවුණු අති සුවිශේෂි විජයග්‍රහණයකි. 

කාර්මික විප්ලවය එංගලන්තයේ ඇතිවීමට හේතුව

එතෙක් ලොව බලවත්ම රටවල් බවට පත්ව සිටියේ ස්පාඥ්ඥය, පෘතුගාලය, නෙදර්ලන්තය වැනි රටවල්ය. ඒ විදෙස් වෙළඳාම හා යටත්විජිතකරණයෙනි. එයින් පසු එංගලන්තය විදෙස් වෙළදාමට හා යටත්විජිතකරණයට යොමුවුණු අතර එයින් ඔවුන් සියලු රටවල් පරදා ඉදිරියට පැමිණියේය. එමඟින් සිදුවුයේ එංගලන්තයේ කර්මාන්තකරණය සඳහා ආයෝජනය කළ හැකි මට්ටමේ ධනවතුන් පිරිසක් බිහිවීමයි. එසේම 18 වන සියවසේ දී එංගලන්තයේ ජනගහණය අධික වීම නිසා භාණ්ඩ සඳහා වන ඉල්ලුම ද වැඩි වී තිබේ. 

සියලු වැසියන්ට ප්‍රමාණවත් තරම් භාණ්ඩ නිපදවීමට මිනිස් ශ්‍රමය පමණක් යොදා ගැනීම අභියෝගයක් වුයේ එයින් අනතුරුවයි. එය කාර්මික යන්ත්‍ර සූත්‍ර නිපදවීමට හේතුවක් විය. එසේම 14 වන හා 15 වන සියවස් දෙකේ දි සිදුවුණු පුනරුදය විද්‍යාවේ දියුණුවට හේතුවිය. එම වි ද්‍යාත්මක දැනුම යන්ත්‍ර සූත්‍ර නිර්මාණය සඳහා යොදාගැනීමට ද අවධානය යොමු වී තිබුණි.  මෙම යන්ත්‍ර සූත්‍ර නිපදවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගැනීමේ පහසුව එංගලන්තයට තිබුණු අතර බලශක්තිය සඳහා අවශ්‍ය ගල් අඟුරු ද සපයා ගැනීම පහසු විය.  

එංගලන්තය සිය නීති පද්ධතිය ආශ්‍රයෙන් යටත් විජිතවලට වෙනත් රටවල් සමඟ සබධතා පැවැත්වීම අසුරා තිබුණි. මේ නිසා එම රටවල් සඳහා අවශ්‍ය භාණ්ඩ නිපදවූයේ ද එංගලන්තයමය. එමඟින් ඔවුන් සිය සියලු යටත් විජිත සඳහා අවශ්‍ය භාණ්ඩ සැපයීම සිදු කලේය. එකළ එංගලන්තයේ කපු රෙදිවලට යටත් විජිතවලින් වැඩි ඉල්ලුමක් තිබුණත් අවශ්‍ය පමණට රෙදි නිෂ්පාදනය කළ නොහැකි විය. එමනිසා ඔවුන් රෙදි හා නිමි ඇඳුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිපදවීම සිදුකලේය. 

මෙයට සමකාලීනව එංගලන්තයේ ධනවතුන් හා වංශාධිපතිනයන් ගම්බද ගොවියන්ගේ ඉඩම් පැහැරගෙන ඒවා එක්කර විශාල ගොවිපලවල් සකස් කරන ලදී. එයින් ඉඩම් අහිමි පුද්ගලයන් රැකියා සොයාගෙන නගරයට සංක්‍රමණය වීම ද සිදුවිය. එසේම එරට පැවති නිදහස හා දේශපාලන මැදිහත්වීම ද ව්‍යාපාර සිදුකිරීම සඳහා මහත් රුකුලක් විය. බැංකු ක්‍ෂෙත්‍රය දියුණු වීමෙන් වඩාත් වැඩි ප්‍රථිලාභ ලබාගැනීමට ව්‍යාපාරිකයාට අවස්ථාව ලැබුණි. 

කාර්මික විප්ලවයේ ප්‍රබෝධය

එක්සත් රාජධානියේ කාර්මික විප්ලවය සිදුවුයේ කර්මාන්ත තුනක් ආශ්‍රයෙනි. ඒ 

01. පේශ කර්මාන්තය

02. යකඩ හා වානේ කර්මාන්තය

03. ගල් අඟුරු කර්මාන්තය 

වශයෙනි. 

මේ යටතේ ලොවට දායාද වුණු කාර්මික උපකරණ මෙසේය. 

1774 දී ජේම්ස් හාග්‍රීව් කපු කැටීම සඳහා ජෙනී යන්ත්‍රය සොයා ගැනීම

රිචඩ් ආක්‍රයිට්ස් විසින් ජල බලයෙන් ක්‍රියාකරන නූල් කටින යන්ත්‍රය සොයාගැනීම

හෙන්රි බෙසමර් ගේ වානේ නිපදවීමේ උඳුන

එබ්‍රහම් ඩර්බි විසින් යපස් උණු කර වානේ නිපදවිය හැකි බව සොයා ගැනීම. මෙයින් යකඩ නිෂ්පාදනය ආරම්භ විය. 

1784 දී හේන්රි කෝට් රෝලර් යන්ත්‍රය නිපදවීම. මෙමගින් යකඩ තැලීම හා පදම් කිරීම සිදුකල හැකිවිය. 

1856 දී හෙන්රි බෙසමර් විසින් යකඩවල ඇති අපද්‍රව්‍ය ඉවත්කර වානේ නිපදවීමේ තාක්‍ෂණය සොයාගැනීම. 

ජේම්ස් වොට් ගේ වාෂ්ප එන්ජිම 

හම්ප්‍රි ඩේව් විසින් ආරක්‍ෂක ලාම්පුව සොයා ගැනීම. මේ සොයාගැනීම අනතුරුදායක ලෙස පතල් කර්මාන්තයේ නිරතවුණු පතල් කරුවන්ට මහත් අස්වැසිල්ලක් විය. 

1839 දී යකඩ කේබල් මඟින් ගල් අඟුරු පිටතට ගෙන ඒමේ ක්‍රමය යොදාගැනීම. එතෙක් ගල් අඟුරු පිටතට ගෙන ආවේ දරුවන් විසින් ඉතාම අනාරක්‍ෂිත ආකාරයෙනි. මේ සඳහා කුඩා ගැහැණු දරුවන් පවා යොදාගෙන තිබේ. 

කාර්මික විප්ලවය වෙනත් ක්‍ෂෙත්‍ර කරා ව්‍යාප්ත වීම

එහිදී ප්‍රවාහන ක්‍ෂෙත්‍රය, සන්නිවේදන ක්‍ෂෙත්‍රය, කෘෂි කර්මාන්තය දියුණුවට පත්විය. 

ප්‍රවාහන ක්‍ෂෙත්‍රය

මැකඩම් ක්‍රමය හෙවත් ගල් කැබලි කුඩා කොටස්වලට කඩා මාර්ගවල අතුරා මට්ටම් කිරීම මඟින් මාර්ග පිළිසකර කිරීම

ජෝර්ජ් ස්ටීවන්ගේ දුම්රිය එන්ජිම

ඩෙම්ලර්ගේ මෝටර් රථය

රයිට් සහෝදරයන් විසින් ගුවන් යානය සොයාගැනීම

සන්නිවේදන ක්‍ෂෙත්‍රය

පෙනී තැපැල් සේවය ආරම්භ වීම. මෙමඟින් එංගලන්තයේ සිට ලෝකයේ ඕනෑම රටකට පැන්සයක් ගෙවා ලිපියක් යැවීමට හැකිවිය. 

1844 දී සැමුවෙල් මෝස් විසින් විදුලි පණිවිඩ ක්‍රමය සොයාගැනීම

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් දුරකථනය සොයා ගැනීම

1895 දී ගුග්ලි එල්මෝ මාර්කෝනි විසින් ගුවන් විදුලි තරංග සොයාගැනීම

කෘෂි කර්මාන්තය

මහා පරිමාණ ගොවිබිම් ආරම්භ වීම

ශෂ්‍ය මාරු ක්‍රමය

සත්ව පාලනය සඳහා නව තාක්‍ෂණය යොදාගැනීම

නව කෘෂිකාර්මික උපකරණ බිහිවීම

කාර්මික විප්ලවය අනෙක් රටවල් කරා ව්‍යාප්ත වීම නිසා එම රටවල ද සමාජ ආර්ථික හා දේශපාලන ක්‍ෂෙත්‍ර දියුණුවට පත්විය. එහි යහපත් හා අයහපත් ප්‍රථිපල රැසකි. එමඟින් මිනිස් ශ්‍රමට අඩු වටිනාකමක් ලැබුණු අතර යන්ත්‍ර සූත්‍ර සඳහා වැඩි වටිනාකමක් හිමිවිය. වඩාත් දරුණුම ඛේදවාචකය වූයේ ළමා ශ්‍රමය යොදාගැනීම හා ශ්‍රමය සූරා කෑමයි. 


 


Comments