තරුණ පරපුර වැළඳගත් K පොප් උන්මාදය BTS



Bang ton Boys එහෙමත් නැත්නම්  BTS දකුණු කොරියානු සංගීතයේ සියලු කඩඉම් අභිබවා යමින් මේ වෙද්දි සමස්ථ ලෝකයේම අවධානය සොරාගෙන අවසානයි. ලෝකයේ වඩාත් ජනප්‍රියම සංගීත කණ්ඩායම ලෙස සංගීත ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින්නට සමත් වු BTS කණ්ඩායම සිය සංගීත දිවිය ආරම්භ කරන්නේ 2010 වසරේ දියි. ඒ කොරියානු සංගීත ක්‍ෂෙත්‍රයට නවක මුහුණු රැසක් දායාද කළ Big Hits entertainmentආයතනයෙන්. එමෙන්ම ඔවුන්ගේ නමට ද සුවිශේෂි අර්ථයක් ඇති අතර එයින් කියවෙන්නේ “වෙඩි නොවදින බාල දක්‍ෂයන්” යන්නයි. 

පොප් යනුවෙන් අදහස් කරන්නේ එම කාල සීමාවේදී ජනප්‍රියත්වයට පත්වන සංගීත සංස්කෘතියයි. එනම් Popular Culture යන්නයි. ඒ අනුව මේ කාලසීමාවේ දී ජනප්‍රියත්වය රදවාගෙන ඇත්තේ BTS කණ්ඩායමයි. ඇමරිකානු පොප් සංස්කෘතිය මෙන්ම K පොප් සංස්කෘතිය ද තරුණ ප්‍රජාව වැළඳගන්නේ සංගීතය නිසාම නොවේ. එයට බලපාන කාරණා රාශියකි. විශේෂයෙන්ම මේ කාලයේ වඩාත් ජනප්‍රිය “දුක දිනා ජයගත් මිනිසුන් පිළිබඳ මනෝ විද්‍යාත්මක නැඹුරුව” බොහෝ දෙනෙක් BTS ගීත අසා තිබුණත් නැතත් ඔවුන් වැළඳගන්නට ප්‍රධාන හේතුවක් වී තිබේ. ඒ හැරෙන්නට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ ඔවුන්ගේ බාහිර අලංකරණ, විලාසිතා හා ආකර්ශණිය දඟකාර බවයි. ඒ නිසාම ඔවුන් මෙම පරම්පරාවේ ආකර්ශණීයම සංගීත කණ්ඩායම බවට පත්ව සිටි. 

පැය 24 ක් ඇතුළත අන්තර්ජාල නැරඹුම් වාර වැඩිම ගණනක් හිමිකරගෙන සිටින්නේ ද ඔවුන් යයි පැවසුවහොත් එය පුදුමයක් නොවේ. මේ වසරේ පමණක් ඩොලර් මිලියන 50 කට වඩා උපයා ඇති ඔවුන් සිය සංචාරයන් හරහා පවත්වා ඇති සංගීත සංදර්ශණවලින් උපයා ඇති වත්කම මෙයට වඩා ඉතාම ඉහළයි. 

මෙම කණ්ඩායමේ සාමාජිකයින් ගණන හතකි. කණ්ඩායමේ නායකයා වන්නේ ආර්. එම් වන අතර ඔහු මෙයට පෙර තනිව ගීත ගායනා කළ එනම් සෝලෝ   ආකෘතියේ ගීත ගායනා කළ ගායකයෙකි. Big Hits entertainment  මඟින් තෝරාගත් මෙම පිරිසේ අනෙක් සාමාජිකයින් වන්නේ ජුන්ග් කුක්, වී, සුගා, ජිමින්, ජේ හොප්, ජින් යන අයයි. ඔවුන්ගේ ඉරණම සංගීතය වෙත නැඹුරු වී ඇත්තේ ද අපුර්ව ආකාරයෙනි. 

මුල් කාලයේ දී හිප් හොප් සංගීත කණ්ඩායමක් ලෙස කරලියට ඒමට අදහස් කළත් පසු කාලයක දී ඔවුන් පොප් සහ ආර් ඇන්ඩ් බී සංගීතයට නැඹුරු වී ඇති අතර අද එය ඔවුන් ගත් වඩාත් බුද්ධිමත් තීරණය බවට පත්වී තිබේ. එය ලොව විශිෂ්ඨතම සංගීත සංකලනය බව විචාරක මතයයි. එසේම මෙම කණ්ඩායමේ හොඳින්ම ඉංග්‍රිසි කථා කළ හැකි පුද්ගලයා වන්නේ ආර්.එම් වන අතර ඔහු ඉංග්‍රිසි භාෂාව ප්‍රගුණ කර ඇත්තේ ඔහුගේ දෙමව්පියන් නැරඹු හාස්‍ය උත්පාදක නාට්‍යයක් වු ෆ්‍රෙන්ඩ්ස් නිසයි. එසේම ආර්. එම් ජපන් භාෂාව හොඳින් ප්‍රගුණ කළ අයෙක්. 

වසර 2016 දී වැඩිම රීට්වීට් ප්‍රමාණයක් ලබාගත් කණ්ඩායම ලෙස BTS කණ්ඩායම ජනප්‍රිය වුණු අතර එම ප්‍රමාණය මිලියන පහකට අධික වේ. ඔවුන්ට පිටුපසින් දෙවන ස්ථානය ලබාගෙන සිටින්නේ කෙනි වෙස්ට් වන අතර ඔහු ලබාගත් රීට්වීට් ප්‍රමාණය මිලියන 3 කි. මෙම ලයිස්තුවේ ආසියාවේ කීර්තිමත්ම සංගීත කණ්ඩායම වන්නේ BTS වන අතර ඔවුන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයන් ප්‍රමාණය මිලියන 30 කටත් අධිකය. මේ වන විට තමන් කැමති ඕනෑම දෙයක් ඒ මොහොතේම මිලට ගත හැකි තරම් ධනවත් සංගීත කණ්ඩායමක් වන නමුත් ඔවුන් සිය ආරම්භයේ දී ජීවත් වුයේ හත් දෙනාට එකවර ඇතුළු විය නොහැකි තරමේ කුඩා කාමරයකයි. 

කෙසේ වෙතත් ලොව බිහි වු අනෙකුත් බොහෝ සංගීත කණ්ඩායම් මෙන් කාලයක් ඉතාම ඉහළ තලයේ රැදි පසුකාලකදී කිසිවකුටත් මතක නැති තරමටම අසාර්ථක නොවන්නට ඔවුන් ආරක්‍ෂිත වනු ඇති බව BTS රසිකයන්ගේ බලාපොරොත්තුවයි. 

Comments