පුංචි ඔයාලා මැටිල්ඩා කියවලා තියෙනවද, එහෙමත් නැත්නම් චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි චිත්‍රපටිය බලල තියෙනවද? අර විනී වොන්කා ඉන්න චිත්‍රපටිය. 

ඉතින් අද මේ කියන්න යන්නේ මේ කතා ඔක්කොගේම අයිතිකාරයා ගැන. එයා තමයි රොල්ඩ් ඩාල්… 

ඔහු තමයි අදටත් ලෝකයේ ජනප්‍රියම ළමා කතුවරයා හැටියට සැලකෙන්නේ. 1916 වසරේ සැප්තැම්බර් මාසෙ 13 වැනිදා ඉපදුනු ඔහු ළමා කතා, කෙටිකතා සහ කවි රැසක් පුංචි ඔයාලට දායාද කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එයාගේ සමහර කතාවල පිටපත් මිලියන 300 ඉක්මවා ලෝකය පුරා අලෙවි වෙලා තියෙනවා. ඒ නිසාම රෝල්ඩ් ඩාල් හඳුන්වන්නේ “විසිවන සියවසේ එකම හොඳම ළමා කතා කියන්නා” විදිහටයි. 

ඔහුගේ දෙමව්පියන් නොර්වේ ඉඳලා එංගලන්තයට සංක්‍රමණය වුණු නිසා ඩාල්ගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවුනේ එංගලන්තයේ. ඔහු දෙවන ලෝක යුද්ධයේදී රාජකීය ගුවන් හමුදාවට සම්බන්ධ වෙලා යුද්ධයට ගිහිල්ලත් තියෙනවා. යුද්ධය අවසාන වෙද්දී හමුදාවෙන් ඉවත් වෙන්නේ වින් කමාන්ඩර් කෙනෙක් ලෙස පදවි ප්‍රාප්ත වෙමින්. 

එයින් පස්සේ තමයි ඔහු ලේඛකයෙකු බවට පත්වෙන්නේ. ඩාල් තමන්ගේ පළවෙනි පොත ලියන්නේ 1943 වසරේ. ඒ The Gremlins. මේ පොත ඔහු ලියන්නේ ළමයින්ට වගේම වැඩිහිටියන්ට කියවන්නයි. කෘතියේ අලෙවියත් එක්කම ඔහු ලෝකයේ වඩාත් ජනප්‍රියම ළමා කතුවරයා බවට පත්වෙනවා. ඒ වගේම ඔහුගේ කෙටි කතාවල තියෙන විශේෂත්වය වෙන්නේ ඒ හැම කතාවක්ම ඉවර වෙන්නේ හිතා ගන්න බැරි අවසානයක් එක්ක වීමයි. 

ඩාල් ලියපු කතා අතර වඩාත් ජනප්‍රියම ළමා කතා ලෙස, මැටිල්ඩා, James and the Giant Peach, Charlie and the Chocolate Factory, The Witches, Fantastic Mr Fox, The BGF, The Twits කියන ළමා කතා අදටත් දරුවන් අතර න් හරිම ජනප්‍රියයි. 

මේ තරම් සුන්දර ළමා කතා රැසක් පුංචි ඔයාලට දායාද කළ රෝල්ඩ් ඩාල් වර්ෂ 1990 නොවැම්බර් මාස 23 වැනිදා මිය යනවා. ඒ වයස අවුරුදු 74 දී. එංගලන්තයේ බකින්හැම්ෂයර් හීදී ඔහුගේ අවසාන කටයුතු සිදුවෙනවා.

Comments