”‍සිතින් දිලින්දෝ භාග්‍යවන්තයෝ ය. ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය”‍ - ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ -

සමහර වෙලාවට අපි මොනතරම් පොසිටිව් වෙන්න හැදුවත් ජීවිතේ එක්තරා තැනකදි අපිට එහෙම වෙන්න බැරි වෙනවා. ඒක ඇත්ත. සියයට සීයක් ධනාත්මක මිනිස්සු මේ ලෝකෙ නැහැ. එහෙනම් මේක සුරංගනා ලෝකයක් වෙන්න ඕනනේ. හැබැයි සුරංගනා ලෝකෙත් හිතන තරම් සුන්දර නෑ. අනූවේ අවුරුද්දේ ඉපදුනු වාසනාවන්ත දරුවො විදියට අපි බලපු “ඇලිස් ඉන් වොන්ඩර් ලෑන්ඩ්”‍ මතක් කරගත්තා නම් ඔබට තේරෙයි අපි මේ ලියන කියන කතා සුරංගනා ලෝකෙටත් වලංගු නෑ කියලා. නමුත් ඔබට ඔබේ පුද්ගලික ලෝකය වෙනස් කරගන්න පුළුවන්. ඒකට මේ ලියන තියරියම හරියන්නේ නැහැ. 

ඔබ මේක මත්තෙම සාර්ථකත්වය හොයන්න ගියොත් ඒක ප්‍රායෝගික වෙන්නෙ නැහැ. මේ එක ක්‍රමයක්. කිසිම දෙයක් නෑ කියලා හිතන මනුස්සයෙකුට “නෑ නෑ මෙන්න එකක් තියෙනවා” කියලා කියන්න තමයි අපි මේක ලියන්නේ. ඒ නිසා අදහස විතරක් ගන්න. මේක මත්තෙ හොඳ නරක හොයන්න එපා. ඔබේ පුද්ගලික ලෝකය සුන්දර කරගන්නවා ද නැද්ද කියන කතාව අයිති වෙන්නේ ඔබට මිසක් මේ ලියන මටවත් වෙන කාටවත් නෙවෙයි. ඒ වගේම ඒක තීරණය වෙන්නේ ඔබේ දැක්ම අනුව මිසක් සල්ලි, උගත්කම හෝ බුද්ධිය මත නෙවෙයි. ඔබ කියවලා තියෙනවද රිකාඩෝ බ්‍රේත්වේට් ලියූ To sir with love කියන නවකතාව. එය කලු‍ ජාතිකයෙක් ලෙස ඔහු ලද සත්‍ය පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් ලියවුණු කතාවක්. ආදරණීය ගුරුතුමනි නමින් මෙහි සිංහල පරිවර්ථනයක් තිබෙනවා. 

එහෙමත් නැත්නම් සිද්ධාර්ථ් මල්හෝත්‍රා අධ්‍යක්ශනය කල “හිච්කි” චිත්‍රපටය නරඹලා තිබෙනවද. ටූරට් සින්ඩ්‍රෝම් කියන රෝගයෙන් පෙළෙන නේනා මාතූර් නම් ගුරුවරියගේ චරිතයට පණ පොවන රාණී මුඛර්ජීගේ විශිෂ්ට රංගනය චිත්‍රපටය අවසානයේ ඔබේ ඇසට කදුලක් එක්කරාවී. ඇත්තටම මේ කතා දෙකෙන්ම අපිට උගන්වන්නේ ඉතාම අමාරු අවස්තා දෙකක් යහපත් ආකරයට වෙනස් කරන විදිය ගැනයි. කලු‍ ජාතිකයෙක් වුණු රිකාඩෝ තමන්ගේ පළමු ගුරුපත්වීම අරන් සුද්දෝ විතරක් ඉන්න එංගලන්තයේ ගදගහන අස්සක තියෙන ඉස්කෝලෙක උගන්වන්න ගිහින් ලබන අත්දැකීම සහ කතා කරන වචනයක් වචනයක් ගානේ ඉක්කා වැටෙන නේනා මාතූර් ගුරුවරියක් විදියට හිතුවක්කාරයන් ගොඩක් මැද්දේ ලබන අත්දැකීම් ඔබට හිතාගන්නවත් පුලු‍වන්ද. අනික රිකාඩෝ සුද්දන්ට ගුරුවරයෙක් වෙන්නේ කළු සුදු වර්ණ බේදවාදයේ දරුණුම කාල පරිච්ඡෙදයේ. 

 ඒ වගේම බැරක් ඔබාමා, සුපිරි නළු ශාරුක් කාන්, සුපිරි ද්‍රවිඩ නළු රැජිනි කාන්ත්, ජනප්‍රිය නිවේදිකාවක් වගේම ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවට අනුව 2017 වසරේ ලොව බලවත්ම කාන්තාවන්ගේ ලයිස්තුවේ තුන්වන ස්ථානය දිනාගත් ඔප්රා වින්ප්‍රේ කියන්නේ අන්න එහෙම වඩාත් නරක අවස්ථා ඉතාම යහපත් අවස්ථාවන් බවට හරවා ගත් පුද්ගලයන් බව ඔබ දන්නවා. මේ අයගේ ජීවිත කතා අධ්‍යනය කරලා බැලුවොත් ඔබට හිතේවී මොවුන් විදි දුක්වලින් එක දශමයක් ඔබ කවදාවත් විදලා නැහැ කියලා. විශේෂයෙන්ම හතර වතාවක් සමූහ දූෂණයට ලක්වුනු ඔප්රා වින්ප්‍රේ තරම් නම් ඔබ කොහෙත්ම අවසනාවන්ත නැහැ. ජීවිතය ඔබට මට හැමදේම හොදට ලස්සනට ඔතලා කරල දුන්නා නම් ඇත්තටම ඒක සුන්දරද. වැඩක් තියෙනවද. වඩාත් වැදගත් වෙන්නේ ඔතලා කරලා දෙන එක නෙවෙයි. අපි ලස්සනට ඔතාගන්න පුලු‍වන් විදියට හදාගන්න එක. 

සමහර විට ජීවිතය ඔබට කරදර දහසක් දීලා ගොඩයන්න එක යහපතකුත් දීලා ඇති. හරියට පුංචිම කාලෙදි නොවිදිනා දුක් වින්ද, හිරේ විලංගුවේ වැටුන කාර් හොරෙක්ට ලස්සන කටහඩක් දීලා අපි කවුරුත් දන්න එකෝන් නැමති සුපිරි ගායකයාව ලෝකයට බිහිකලා වගේ. ජීවිතය කියන්නේ මැටි ගොඩක්. ඒක පාගලා තලලා ගල් කැට පස් කැට වැඩකට නැති දේවල් අයින් කරලා හොද ලස්සන පිලිමයක් හදාගන්න එක ඔබේ වැඩක්. ඒ පිළිමය හදාගන්න ක්‍රමයක් ඔබට දීලා ඇති. අන්න ඒක හොයාගන්න.

 දවසක් මම අපූරු කමෙන්ටුවක් දැක්කා. කමෙන්ට් එක ගැන නම් ඒ කියන විදියට සැමියාගෙන් උදව්වක් නැතුව දරුවෙක් හදාගෙන ගෙදර වැඩ කරන එක අමාරු වැඩක්. ඇත්ත මම පිලිගන්නවා. හැබැයි ඒ කමෙන්ට් එක ඇතුලෙත් මම සතුටින් ඉන්න හේතු කීපයක් දකිනවා. එකක් තමයි බිරිදක් වීම. ඔබ දැනටමත් බිරිදක් නම් කල වයස ගතවෙලත් විවාහයක් කරගන්න බැරි උනා කියලා දේවාල ගානේ බෝධීන් වහන්සේලා වටේ දාස් ගණන් වියදම් කරගෙන බෝධී පූජා තියන, මංගල දැන්වීම් තීරුවල ඇඩ් දාගෙන ජීවන සහකාරයෝ හොයන දහසකට වඩා ඔබ වාසනාවන්තයි. ඔබට දරුවෙක් ඉන්නවා නම් උපදින්නත් කලින් දරුවා ගබ්සා උන, ඉපදෙනකොට මල දරුවෙක් විදියට ඉපදුන, එහෙමත් නැත්නම් කුසේදි පෙකණිවැල පැටලිලා මියගිය ඒ දුකෙන් තාමත් විදවන අම්මෙකුට වඩා ඔබ වාසනාවන්තයි. කොටින්ම විවාහ වෙලත් දරුවෙක් නැති, කවදාවත් දරුවෝ හදන්න බැරි, අපේ කුහක සංස්කෘතික පිස්සන්ගෙන් වඳ ගෑනි කියලා අපහාස විදින අහිංසක අම්මෙකුට වඩා ඔබ වාසනාවන්තයි. 

ඒ වගේම රෑ එලිවෙනකන් දුක් විදගෙන වැඩ කරන්න ගෙයක් ඔබට තියෙනවා නම් ජීවිත කාලෙම කුලී ගෙවල්වල ඉන්න, තමන්ගෙම කියලා ඉන්න හිටින්න තැනක් නැතුව පාරට වැටුනු දහසක් මිනිස්සුන්ට වඩා ඔබ වාසනාවන්තයි. කොටින්ම ඔය පිට රටවල ඉන්න Home less මිනිස්සුන්ට වඩා ඔබ දාහකින් වාසනාවන්තයි. ප්‍රශ්නය තියෙන්නේ හුගක් මිනිස්සුන්ට තමන්ට තියෙන දේ ගැන හිතලා සතුටු වෙන්න බැරිකමයි. අපි හිතනවා අපෙ ප්‍රශ්නය හුගක් ලොකුයි කියලා. ඊට පස්සේ අපි ඒ ප්‍රශ්නය ඔලු‍ව උඩ තියාගෙන ඒකටම විදව විදව ඉන්න එක පුරුද්දක් කරගන්නවා. ඒ පුරුද්ද දිගටම යනකොට හැමදෙම ඇදට පේන්න ගන්නවා. ඊට පස්සේ ඒක පුරුද්දක් වෙනවා. 

 ඔබ දන්නවා ඇති වසර ගණනක් තිස්සේ ධර්මය දේශනා කරමින් ලොව වටා යන ඔස්ටේ‍රලියානු ජාතික අජාන් බ්‍රහ්මවංශෝ හාමුදුරුවෝ ගැන. බණ කියන සුදු හාමුදුරුවෝ විදියට ලංකාවේ ප්‍රසිද්ධ වුණු උන්වහන්සේ එක වරක් මෙහෙම කියනවා.

 ”‍සංසුන් මනසක් ඇත්නම් සිරගෙයිද දෙව්ලොවක් තනාගත හැකිය. නැතිනම් දෙව්ලොවද සිර ගෙයක් වන්නේය”‍ කියලා.

 ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියනවා ”‍අපායේ සිට දෙව්ලොවට ඇත්තේ සිතුවිල්ලක දුරකි”‍ 

කියලා. ලැබිලා තියෙන ජීවිතේ ඇතුලේ කරදර අස්සෙ හිනාවෙනවද කරදර මතක් කර කර අඩනවද කියන එක ඔබට අයිති වැඩක්. මොකද ප්‍රශ්න එක්ක ජීවත් වෙන එකම මනුසයා ඔබ නෙවෙයි. අවශ්‍ය වෙන්නේ අවස්තාව අනුව වෙනස් වීමයි. වැඩ ටික තනියම කරගන්න බැරි නම් සැමියා එක්ක සුහදව කතා කරල උදව් ඉල්ලගන්න. ඕන නම් රණ්ඩුවෙන්නත් පුලු‍වන්. ක්‍රමය ඔබේ අතේ. වඩා වැදගත් වෙන්නේ ජීවිත කාලෙදි ඔබ සතුටින් ඉන්නවාද නැද්ද කියන එක විතරයි. කිසිම හේතුවක් නිසා ඔබට හිනාවෙලා ඉන්න තියෙන එකම මොහොතක්වත් නැතිකරගන්න එපා. 

 ජීවිතේදි අපිට ”‍අපි ලබන අත්දැකීම්, ආත්ම විශ්වාසය, අත්ම ශක්තිය, අන්තිම මොහොත දක්වාම විශ්වාස කිරීම, සියල්ල තුළ යහපත දැකීම”‍ වගේ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනවා. එය ඔබට එන ප්‍රශ්නවලට ප්‍රතිජීවක හදලා දෙයි. එවිට ආයේ ප්‍රශ්න ආවාම ඔබට වැටෙන්න වුවමනා නැහැ. ප්‍රශ්න එන තරමට ප්‍රතිජීවක හැදෙනවා. ඒ කියන්නෙ නැවත ප්‍රශ්නයකට මුහුණ දෙන්න තරම් ඔබ ශක්තිමත් වෙනවා. සමහරවිට ඔබට HIV වගේ ප්‍රතිශක්තියටත් පාඩම් උගන්වන ප්‍රශ්න එයි. එතකොට ඒ ප්‍රශ්න AIDS කරගන්නේ නැතිව ජීවත් වීම ඔබේ දක්ශතාවයක්. මොකද HIV AIDS නොවෙන තාක් ඒකත් එක්ක ජීවත් වෙන්න පුලු‍වන්. හැමදේම වෙන්නේ හොදටයි කියලා හිතලා ඒ සිටුවේශන් එක ඇතුලෙ සතුටු වෙන්න දෙයක් හොයාගන්න. නැත්නම් ඒ ගැනම හිත හිත විදව විදව ජීවිත කාලෙම අඩ අඩ ඉන්න. තෝරාගැනීම ඔබේ අතේ.

Comments