හොලිවුඩයේ Godfather




ගෝඩ් ෆාදර් කියන්නේ එදා මෙදා තුර හොලිවුඩ් ඉතිහාසයේ නිර්මාණය වුණු අති සුවිශේෂී නිර්මාණයක්. මාලන් බ්‍රැන්ඩෝ කියන අති විශිෂ්ඨ නළුවා ඇමරිකාවෙන් එහා දුර ඈත රටවල පවා අතිශය ජනප්‍රියත්වයට පත්වෙන්න හේතුවක් වුණේ මේ චිත්‍රපටය. එක පැත්තකින් මේක ඒ කාලේ ඇමරිකාව මොන වගේද කියලා අපිට උගන්වන පාඩම් පොතක් වගේ. ලෝකේ ඕනම රටක් දියුණුව කරා එන්නේ මේ වගේ ගමනාන්තයන් හුඟක් පහු කරලා. හැබැයි එහෙම දියුණු වුණු කිසිම රටකට තමන්ට එහෙම අතීතයක් තිබුණු බව අද වෙද්දි අමතක වෙලා. අන්න ඒ නිසා තමයි හුඟක් දියුණු රටවල් සාමාන්‍ය දුප්පත් දියුණු වෙමින් පවතින රටවලට විවිධ චෝදනා එල්ල කරන්නේ. ඒ රටවලට විරුද්ධව රට ඇතුලෙම මතවාද, කල්ලි හා කාණ්ඩායම් හදන්නේ. 

කොහොම වුණත් එක පැත්තකින් මේක ඇමරිකාව තුළ ක්‍රියාත්මක ඉහළ පෙලේ ධානපති මාෆියාවක් ගැන කතා කරන චිත්‍රපටයක් කියන්න පුළුවන්. ඒ වගේම ඒ කාල සීමාවේ ඉතාලිය ගැනත් චිත්‍රපටය ඇතුලේ අපිට අදහසක් ඉදිරිපත් කරනවා. වීටෝ කොරලියොන්නේ එහෙමත් නැත්නම් මාලන් බ්‍රැන්ඩෝ පණ පොවන චරිතය ඇමරිකාව දක්වා පැමිණීමේ කතා පුවත පෙන්වා දෙන්නේ ඒ කාලෙ ඉතාලියේ තිබුණු මත්ද්‍රව්‍ය මාෆියාව.  

අනෙක් පැත්තෙන් මේ චිත්‍රපටය එහෙම පිටින්ම සිනමාව ඉගෙන ගන්න අයට නිර්මාණය වුණු චිත්‍රපටයක්. කොහෙන්, කොයි පැත්තෙන් ගත්තත් එහි තියෙන්නේ පුදුමාකාර සිනමාත්මක භාවිතාවක්. අඳුර ආලෝකය වර්ණ භාවිතය කතා බහ ඇඳුම් විලාසිතා මේ හැම එකකම තියෙන්නේ ගුප්ත බවක්. ඒක විටෝ කොරලියොන්නේ ලා වගේ මිනිස්සු එක්ක තියෙන, ඔවුන්ට අත්විඳින්න සිදුවන ගුප්ත නොසන්සුන් බව ගැන දෙන ඉඟියක් වගේ. ඒ නිසාම බහුතර ප්‍රේක්‍ෂක පිරිසක් ඇතුලේ චිත්‍රපටයේ අවසානය දක්වාම තියෙන කු-තුහලය වර්ධනය වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. 

ඒ වගේම චිත්‍රපටය සඳහා නළු නිළියන් තෝරා ගැනීමේ දී ඔවුන් ගත් නිවැරදි තීරණ විශේෂයෙන් මෙහි සාර්ථකත්වය සඳහා බලපාලා තිබෙනවා. එය නවක සිනමාකරුවෙකුට හොඳ ආදර්ශයක් වගේම හොඳම උදාහරණයක්. තමන්ගේ නිර්මාණයක් තුළින් උපරිමය බලාපොරොත්තු වෙනවා නම් කිසිම වෙලාවක හිතවත්කම් හෝ තරාතිරම මත නළු නිලියන් තෝරා ගැනීම කළ යුතු නැහැ. නිවැරදි හා දක්‍ෂ පුද්ගලයා තෝරා ගැනීමයි කළ යුතු වෙන්නේ. 

මාලන් බ්‍රැන්ඩෝ තමයි මේ චිත්‍රපටයට ගැලපෙන අති විශිෂ්ඨතම තෝරා ගැනීම. ඔහු වඩාත් ලංවෙන්නේ චරිතාංග නළුවෙක්ට. ඔහු අංග චලන සිනමාවේ ශ්‍රෙෂ්ඨයෙක්. අතක් හෙලවුවත්, වටපිට බැලුවත් ඒ සියල්ල තුළ අමුතු විදියේ යථාර්තයක් ගැබ් වෙලා තියෙනවා කියලා ප්‍රෙක්‍ෂකයාට පෙන්වන්න ඔහුට පුළුවන්. ඒ වෙද්දි එලිසා කසාන් ගේ “ A streetcar named desire” චිත්‍රපටයේ ස්ටැන්ලි කෝවල්ස්කි ලෙසත් “On the waterfront” චිත්‍රපටයේ ටෙරි මැලෝයි ගේ චරිතයෙනුත් ඔහු ප්‍රේක්‍ෂකයන් අතර විශිෂ්ඨ නළුවෙක් බවට පත්වෙලා හිටියා. 

කොහොම වුණත් ගෝඩ් ෆාදර් චිත්‍රපටය වෙනුවෙන් විශිෂ්ඨතම නළුවා ලෙස ලැබුණු ඔස්කාර් සම්මානය ඔහු පිළිගත්තේ නැහැ. ඇමරිකානුවන් විසින් සිදුකළ මිලේච්ඡ රතු ඉන්දියානු සංහාරයට විරෝධය පළ කරමින් ඔහු සම්මානය ප්‍රතික්‍ෂෙප කරමින් ඔස්කා වේදිකාවෙන් බැහැලා ගියා. ඒක ලෝක ඉතිහාසයේ සිදුකළ ස්වර්ණමය කැපකිරීමක්. ඇමරිකානුවන්ගේ සිවිල් අයිතීන් වෙනුවෙන් මෙන්ම ඇමරිකාව හා අනෙක් රටවල් අතර සිදුකළ රාජතාන්ත්‍රික කටයුතුවලදිත් ඔහු නිවහල් පුරවැසියෙක් ලෙස සාධාරණය වෙනුවෙන් පෙනිසිටියේ මේ ආකාරයෙන්මයි. 

අදටත් හොලිවුඩයේ තවත් මාලන් බ්‍රැන්ඩෝ කෙනෙක් බිහිවෙන්නේ නැත්තෙත් ඒ නිසාමයි. 

Comments