පීතෘ සෙනෙහස ගැන කියන Guido සහ RV



ඔයාගේ අම්මයි තාත්තායි ජීවිතයේ කවදාහරි දවසක හිතාගන්නවත් බැරි අරුම පුදුම බොරු කියලා තියෙනවාද සමහර විට ඔයාගේ පුංචි කාලේ මේ අත්දැකීම විදලා ඇති. තාත්තා කෝ කියලා ඇහුවාම එයා ඉන්නේ තරුවක, එහෙමත් නැත්නම් හදේ කියලා අම්මා හිත සනසන්න කියපු බොරු දවසක බොරු කියලා දැනගත්තාම ඔයාට මොකද හිතුනේ. තරහා ගියාද එහෙමත් නැත්නම් දුක හිතුනද 

ආගමික කාරණා අනුව බොරු කීම පාපයක් වුණත් ඒ අයත් බොරු නොකියා ඉන්න බැරි තරම් අසරණ වෙන්න ඇති. හරියට Life is beautiful චිත්‍රපටයේ ගුයිඩෝ වගේ. එහෙමත් නැත්නම් Ta Ra rum pum  චිත්‍රපටයේ  RV වගේ. මේ චිත්‍රපට දෙකම එක හා සමාන මාතෘ පීතෘ ප්‍රේමයක් ගැන කතා කළත් චිත්‍රපට දෙකට පාදක වෙන්නේ වෙනම සිදුවීම් දෙකක්. 

Life is beautiful දෙවන ලෝක යුද්ධය පාදක කරගනිමින් බිහිවුණු ඉතාලි චිත්‍රපටයක්. ගුයිඩෝ නම් බොහොම විනෝදකාමී නිදහස් යුදෙව් ජාතිකයෙක් හා ඔහුගේ පවුල වටා දිවයන මෙම කතාව නතර වෙන්නෙ නොහිතන තැනකින්.  ගුයිඩෝ මේ නගරයට එන්නේ ඔහුගේ මාමා එක්ක ඉතාලි අවන්හලක වැඩ කරන්න. මෙහිදි මුණගැහෙන යුදෙව් නොවන ඉතාලි ජාතික කාන්තාවක් එක්ක ඔහු විවාහ වෙනවා. මේ දෙදෙනාට පිරිමි දරුවෙක් ඉපදෙන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසාන කාලයේ වගේ. මේ කාලේ ඉතාලිය පුරා දැවැන්ත යුදෙව් විරෝධි රැල්ලක් ක්‍රියාත්මක වෙනවා. යුදෙව් අවන්හල්, කෑම විතරක් නෙවෙයි යුදෙව් මිනිසුන් ප්‍රතික්ෂේප කරන්නත් ඔවුන් දෙවරක් හිතන්නේ නැහැ. 

එක දවසක් ඉතාලියට එන නාසි හමුදාව එහි සෑම නගරයකම ඉන්න යුදෙව් පිරිමින් සහ කාන්තාවන් බලහත්කාරයෙන් බර වැඩ සඳහා රැගෙන යාමට කටයුතු කරනවා. ගුයිඩෝ ට සහ ඔහුගේ එකම පුතාටත් මේ ගමන යන්න සිදුවෙනවා. යුදෙව් නොවන කිසිවෙක් මේ විදියට අරගෙන ගියේ නැතිවුණත් ඔහුගේ බිරිඳටත් ඔවුන් එක්ක යන්න සිදුවෙනවා. අසීමිතව තමන්ගේ සැමියාට හා පුතාට ආදරය කරන ඇය තමන්ටත් මේ ගමන යා යුතු බවට කරන ඉල්ලීම නිසා අවසානයේ ඇයවත් අදාල දුම්රියේම කාන්තාවන් ඉන්න කොටසේ සිර කරනවා. 

ඉතාලිය කවදාවත් නාසි හමුදාවට යටත් නොවුණත් ඔවුන් ජර්මනියට උදව් කළා. ඒ නිසා ඉතාලියේ සිටි සියලුම යුදෙව්වන්ට අත්වුණෙත් අනෙක් රටවල යුදෙව්වන්ට අත්වුණු ඉරණමම තමයි. මේ වෙලාවේ තමන්ගේ දරුවා පත්වන අපහසුතාවය තේරුම් ගන්න ගුයිඩෝ තමන්ගේත් තමන්ගේ පවුලෙත් අනාගත ඉරණම මොනවගේ වෙයි ද කියලා නොදැන වුණත් මේ සියල්ල සඟවන්න හිතාගෙන ලොකු බොරුවක් කියන්න පෙළබෙනවා. ඒ තමන් මේ සහභාගි වෙන්නේ තරඟයකට බවත් අවසානයේ ජයග්‍රහණය ලබන පුද්ගලයාට හෝ පවුලට යුධ ටැංකියක් තෑගී වශයෙන් ලැබෙන බවයි ඔහු කියන්නේ.

තමන්ගේ දරුවාව සඟවාගෙන කෙසේ හෝ දරුවාගේ ජීවිතය බේරා ගන්න උත්සහ කරන ගුයිඩෝ තාත්තා කෙනෙක් විදියට සිනාමුසු මුහුණින් සියල්ල දරාගන්නා ආකාරය චිත්‍රපටය පුරාම පෙන්වනවා. සමහර තැන්වල දී දරුවා මේ තත්ත්වයට මුහුණ දෙන්නට අකමැත්ත පළ කර හඬා වැටෙද්දි තමා මෙන්ම සිරගත වී සිටින අනෙක් සඟයන්ගේ ද සහය ඇතිව දරුවා නිහඬ කිරීමට ගුයිඩෝ ගන්නා ආදරණීය වෑයම පීතෘ සෙනෙහස හඳුනන ඕනෑම කෙනෙක් තුළ සංවේගයක් ඇති කරන්නේ නොදැනුවත්වමයි. 

චිත්‍රපටය අවසානයේ මෙම නාසි කඳවුර මිත්‍ර හමුදා ග්‍රහනයට හසුවීම නිසා දරුවාගේ සහ ගුයිඩෝ බිරිඳගේ ජීවිතය බේරුනත් එය පෙර දින රාත්‍රියේ ගුයිඩෝ වෙඩි තබා ඝාතනය කරනවා. 

Ta Ra rum pum චිත්‍රපටයේ  RVගේ චරිතය මීට වඩා වෙනස්. ඔහු කාර් රේස් ලෝකයේ හිනි පෙත්තටම ගිය රේස් කප්පිත්තෙක් වුණත් ඇත්තටම වගකීම් විරහිත නාස්තිකාරයෙක්. ඒ නිසාම ඔහුට බිරිඳට හා පවුලට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත ඉරණම නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට දරණ වෑයම චිත්‍රපටය තුළින් පෙන්වා දෙනවා. තමන් ජනප්‍රිය රියැලිටි තරඟයකට මුහුණ දෙන බවත් එයින් ජය ගැනීමට නම් දුප්පතුන් ලෙස ජීවත් වී පෙන්විය යුතු බවත් දරුවන්ට පවසන්නේ ඒ නිසයි. කෙසේ වුවත් අවසානය දක්වා චිත්‍රපටය දිගහැර පෙන්වන මාතෘත්වය හා පීතෘත්වයත් එහි කැපකිරීමත් සුළුපටු නැහැ. 

හොලිවුඩය හා බොලිවුඩය පුරා නිර්මාණය වුණු බොහෝ චිත්‍රපට සඳහා මව්පිය දූ දරු සබධතා පිළිබඳ සිදුවීම් ඉතාම සංවේදී අයුරින් ඉදිරිපත් කර තිබෙනවා දැකිය හැකියි. මේ තුළින් ඔවුන් මානව සබධතා අත්හරිමින් වේගවත් ගමනක් යන දරුවන්ට යම් පාඩමක් කියාදෙන්නට උත්සහ කරනවා වන්නටත් පුළුවන්. ඉන්දියානු සමාජය කෙසේ වෙතත් බටහිර සමාජ ආකල්ප තුළ මානව සබධතා දුරස්වීමක් දකින්නට ලැබෙන නිසා ඔවුන් මෙවැනි නිර්මාණ වැඩියෙන් බිහිකිරීමට උත්සහ කරනවා විය හැකියි. 

කෙසේ වෙතත් මෙම චිත්‍රපට දෙකම නැවත නරඹන්නට මම ඔබට ආරාධනා කරනවා. ඒ තුළින් පවුල නැමති ඒකකය තුළ පවතින ලේ බැම්මට එහා ගිය මානව දයාව හඳුනාගන්නට ඔබට අවස්ථාව ලැබේවි.  

    

Comments