රට ජාතිය ගැන ඔබට තියෙන කැක්කුම හෝ ආක්‍රමණශීලි හැඟීම නිසා ඇතිවෙන යුද්ධය පුංචි දරුවෙකුට මොනතරම් දෙවල් අහිමි කරනවා ද කියලා ඔබට අදහසක් තියෙනවාද?
තමන්ගේ ආගමට, ජාතියට, රටට ආදරය කරන එක හොඳ මනුෂ්‍යයෙකුගේ ලක්‍ෂණයක් වුණත් එයින් තවත් ජාතියක් හෝ ආගමක් පාගා දැමිය යුතුයි කියලා අදහස් වෙන්නේ නැහැ. එයින් සිදුවෙන්නේ දැන හෝ නොදැන අපි තවත් මනුෂ්‍ය කොඨටාශයකට නිදහසේ ජීවත් වීමට තිබෙන අයිතිය නැතිකර දැමීමක්. ඔවුන් යුද්ධයට පෙළබෙන්නේ ඒ නිසා. එහෙමත් නැත්නම් බලවත් රටවල ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය නිසා. ඒ කොහොම වුණත් යුද්ධය කියන්නේ මනුෂ්‍යත්වයට කරන නිග්‍රහයක්.
යුද්ධයෙන් මිය ගියත් දිවි බේරා ගත්තත් ඔබ පරාජිතයෙක්.
ඒ නිසා යුද්ධයක් ඕනමයි කියලා හිතෙනවා නම් බාහ්මන් ගෝබාධී අධ්‍යක්‍ෂණය කළ Turtles Can Fly චිත්‍රපටය බලන්න. වැඩිහිටි ඔබේ යුද්ධය නිසා කුඩා දරුවන්ට හුස්ම වැටෙන සිරුර හැරෙන්නට අනිත් සියල්ල අහිමි වන හැටි ඔබට නරඹන්න පුළුවන් වෙයි.
පසුබිම් කතාව
මේ කතාවෙන් කියවෙන්නේ ඉරාක යුද්ධයෙ මුල් අවදිය ගැන. එක්සත් ජාතීන් විසින් ඉරාකයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කලා. ඔවුන් මේ සඳහා යොදාගත්තේ දෙමව්පියන් අහිමිව අවතැන් වුණු ඉරාක දරුවන්. කැනිබෝ කියන්නේ තුර්කි ඉරාක දේශසීමාවේ තියෙන ඉරාකයට අයිති ගමක්. මේ ගමේ හිටිය වයස අවුරුදු 10 12 දරුවෝ ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න උදේ හවස බිම් බෝම්බ ගැලෙව්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානය එක බෝම්බෙකට එයාලට ගෙව්වා ඩොලර් 20 ක්. හැබැයි අතක් පයක් ගැලවුණා කියන එක එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ සමහර දරුවන්ට අත් නැහැ. සමහර දරුවන්ට කකුල් නැහැ. මේ මුළු කණ්ඩායමටම නායකත්වය දෙන්නේ ගමේම ගෙවල් වල ඇන්ටනා හදන සැටලයිට් කියන නම වැටුණු පුංචි දරුවෙක්.
මේ අනාථ කඳවුරේ ඉන්නවා අම්මා තාත්තා දෙන්නා නැතිවුණු දරුවෝ තුන්දෙනෙක්. ඒ පවුලේ ඇග්‍රීන් කියන අපිරිසිදු කෙල්ලට යන්තම් අවුරුදු 13 ක් විතර ඇති. එයාගේ අතේ හැම තිස්සෙම ඉන්නවා අවුරුදු දෙකක විතර අන්ධ දරුවෙක්. මේ දෙන්නාව බලාගන්නේ ඇග්‍රින්ගේ අයියා හෙන්ගු. ඔවුන් තුර්කියෙන් ඉරාකයට එන්නේ තුර්කි හමුදාව එයාලගේ ගමට පැනලා අම්මවයි තාත්තාවයි මරලා ඇග්‍රින්ව දුෂණය කලාට පස්සේ. ඇග්‍රින් අතේ ඉන්නේ ඒ දුෂණයේ ප්‍රථිපලයක් වුණු දරුවා. හැබැයි මේ කිසිදෙයක් නොදන්න සැටලයිට් මේ කෙල්ලට ආදරය කරනවා. මේ කාලයේ ඇමරිකාව ඉරාකයට එනවා. ඔවුන් පත්‍රිකා බෙදනවා මෙන්න මේ විදියට.
“ ඉරාක ඡනතාවනි ඇමෙරිකානුවෝ ලෝකයේ හොදම මිනිස්සුය.“
“ අපි ඔබලාගේ රට ස්වර්ගයක් කරන්නෙමු...”
ඒ කාලෙම තමයි ඔවුන්ට තමන්ගේ කඳවුරුවලින් අයින් වෙලා යන්න කාලය එළඹෙන්නේ. කාලයක් යද්දි ඇග්‍රින්ට මේ කොල්ලව පේන්න බැරි වෙනවා. ඇය දන්නවා ඇයට කුර්දි ගමෙන් එන්න සිද්ධ වුනේ මේ දරුවා නිසා කියලා. තමන්ගෙම සමාජයෙන් ඇය කොන් වුණේ මේ දරුවාගේ තාත්තා කුර්දිෂ්වරුන්ගේ හතුරෙක් වුණු තුර්කි කාරයෙක් නිසා. ඉතින් දවසක් දා ඇය මේ දරුවාව අරගෙන ගිහින් බිම් බෝම්බ වළලපු ඉඩමක ගහක බැඳලා එනවා. ඒත් එදා දරුවට අනතුරක් වෙන්නේ නැහැ. මොකද මේ දරුවට අයියා හෙන්ගු තමන්ගේ පණටත් වඩා ආදරෙයි. තවත් දවසක් ඇග්‍රීන් මේ වැඩේම කරනවා. නමුත් එදත් දරුවාගේ පණ බේරෙනවා. ඇයට ඕන වෙන්නේ මේ දරුවාව දාලා යන්න. ඒත් අයියා ඒකට ඉඩ දෙන්නේ නැහැ.
එක දවසක් රෑ ඇග්‍රීන් තීරණයක් ගන්නවා. ඇය දරුවත් අරන් යන්නේ ඒ ළඟම පිහිටි ලොකු බෑවුමක් සහිත ප්‍රපාතයක් තියෙන විලකට. එතනට ගිහින් ඇය අර නොදරුවාගේ ඉණ වටේ කඹයක් ගැටගහනවා. එතකොට ඇයට මතක් වෙනවා තුර්කි සොල්දාදුවන් ඇයට අතවර කළ හැටි. ඇය හිතනවා කී දෙනෙක් තමන්ට අතවර කළා ද කියලා. සමහර විට දහයක් එහෙම නැත්නම් දහතුනක්. ඒ වෙලාවේ ඇයට මතක් වෙනවා තුර්කි හමුදාව තමන්ගේ අයියව මඩේ ඔබාගෙන තද කරගෙන හිටපු හැටි. අයියා නංගි වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් එකම දේ ඒ වෙලාවේ කළා.
“අනේ මගේ නංගිට ඉන්න දෙන්න. දැන් ඔය ඇති එයාව මැරෙයි”
ඇග්‍රීන්ට ඒ හැමදෙයක්ම චිත්‍රපට ජවනිකාවක් වගේ මැවෙන්න ගන්නවා. ඇය කේන්තියෙන් කදුළු වගුරවමින් ලොකු ගලක් අරගෙන ඇවිත් අර නොදරුවා බැදලා දාපු ලණුවේ අනිත් කෙළවරේ බඳිනවා. එයින් පස්සේ ගල ප්‍රපාතයට තල්ලු කරනවා. ගල වැටෙන්නේ අර අහිංසක දරුවත් ඇදගෙනමයි. අවසානෙදි ඇග්‍රීන් බොහොම සන්සුන්ව ප්‍රපාතය ඉහළට යනවා. ඇයට මතක් වෙනවා මේ විලේ ඉන්න රෝස පාට ලස්සන මාළු අල්ලලා දෙන්නම් කියලා සැටලයිට් එයාට දීපු පොරොන්දුව. බොහොම ශාන්තව තමන්ගේ සෙරෙප්පු දෙක ගලවලා පැත්තකින් තියපු ඇග්‍රීන් ප්‍රපාතයෙන් පහලට පනිනවා.
අයියා නින්දෙන් ඇහැරෙනකොට සියල්ල සිදුවෙලා ඉවරයි. එයා දුවගෙන යනවා විල ගාවට. යනකොට නංගිගේ සෙරෙප්පු දෙක තියෙනවා ප්‍රපාතය මුදුනේ. එයා අඬ අඬ ඒ සෙරෙප්පු දෙක කටින් ගන්නවා. මොකද හෙන්ගු ගේ අත්දෙකම නැහැ. ඊට පස්සේ ආපහු යන්න යනවා. ඒ දරුවට ඉතිරි වෙන්නේ නංගි දාගෙන හිටපු සෙරෙප්පු දෙකයි මැරෙනතුරු ගැහෙන තමන්ගේ හදවතයි විතරයි.
“ඉතින් යුද්ධය පරාජය කරන්නේ ඔබේ හතුරා විතරම ඳ”
Comments
Post a Comment