චීනා කෑම කන කූරු දෙකේ කතාව




අතින් ආහාර ගැනීමේ සංස්කෘතියකට හිමිකම් කියන අපි ඉංග්‍රිසීන්ගේ පාලනයට නතුවීමෙන් අනතුරුව හැදි ගෑරුප්පු සංස්කෘතියට හුරුවිය. සුද්දා හැන්දෙන් සහ ගෑරුප්පුවෙන් ආහාර ගත්තේ සීත රටවල අත සේදීමට ඇති අපහසුව නිසයි. ඒ හැරෙන්නට ඔවුන් ගන්නා ආහාර වඩත් පහසුවෙන් හැන්දෙන් හා ගෑරුප්පුවෙන් ආහාරයට ගත හැකි නිසායි. නමුත් අප සුද්දා අනුකරණයට ඇති රුචිය නිසා හැන්ද හා ගෑරුප්පුව අතට ගෙන කෑම මේසයේ සටන් කරන්නේ අතින් කෑ හැකි ආහාර සමග වීම අරුමයකි. 

කෙසේ වෙතත් හැන්ද හා ගෑරුප්පුව ගැන කතා කරන විට අමතක කල නොහැකි තවත් උපකරණයක් තිබේ. ඒ ලොව හත් දෙනෙකුගෙන් එක් අයෙක් ආහාර ගැනීම්ට භාවිත කරන චොප්ස්ටික් උපකරණයයි. චීනය, ජපානය, කොරියාව, වියට්නාමය ඇතුලු දකුණු ආසියානු රටවල් බහුලව භාවිතයට ගන්නා චොප්ස්ටික්වලට ඇත්තේ දීර්ඝ ඉතිහසයකි. ආහාර එතීම සදහා පත්‍ර හා බට පතුරු භාවිතය මුලින්ම ආරම්භ කල මොවුන් එවැනි ආහාර ඇල්ලීම සදහා මුලින්ම මෙවැනි පතුරු ආධාර කරගෙන ඇත්තේ මීට වසර 2000 කට පමණ පෙර සිටයි. ඒ කාලයේදීම අහාර ගැනීම සදහාත් ඔවුන් මෙවැනි පතුරු විශේෂයක් යොදාගෙන තිබේ.  නමුත් මෙයට වසර 500 කට පමණ එපිට දී පමණ මෙහි හැඩය වෙනස් කර පෙනුමෙන් හා හැඩයෙන් සිහින් මටසිලුටු බවක් ලබාදී ඇත. වර්ථමානයේ දක්නට ලැබෙන්නේ එම වෙනස්ට පසුව භාවිත කරන චොප්ස්ටික් උපකරණයයි. 

මුල් කාලයේ ඔවුන් ඉවුම් පිහිම් කිරීම සදහා ද චොප්ස්ටික් භාවිත කර තිබේ. මෙයට වසර 400කට පමණ පෙර කාලයේදී ඔවුන් ආහාර ගැනීම සදහා මෙය භාවිතා කල බවට සාක්ශි හමුවී ඇති අතර ආහාර ගැනීමට මෙවැනි යමක් භාවිත කරන්නට ඇත්තේ ඇයිද යන්න ගැන පර්‍යේශකයන් පලකරන්නේ විස්මිත අදහසකි. එනම් චීනය ඇතුලු මෙම රටවල් මීට වසර 400 - 500 කට එපිට කාලයේ දැඩි දරිද්‍රතාවයෙන් පෙලුනු රටවල් වන අතර එක් අයෙක් ගන්නා ආහාර ප්‍රමාණය පාලනය කිරීම මගින් ආහාර ඉතිරි කර ගැනීමට හා වියදම් අඩු කරගැනීමට ඔවුන් මෙම ක්‍රමය භාවිත කර ඇත. ඉතා අපහසුවෙන් ආහාර ගැනීම සිදුවීම හා ඉතා අඩු ආහාර ප්‍රමාණය වරකට අල්ලාගත හැකිවීම නිසා ආහාර ගැනීමෙ රුචිය අවම කරවීම මෙයින් අපේක්ශා කර තිබෙනවා විය හැකිය. 

චොප්ස්ටික් භාවිතයත් සමගම ආහාර සංස්කෘතියේ වෙනසක් ද සිදුවී තිබෙන බව කියවේ. ඒ අනුව කුඩාවට කපන ලද ආහාර, හොදින් අල්ලාගත හැකි පරිදි සකසන ලද ආහාර, තැම්බූ ආහාර ආදිය ඔවුන්ගේ ආහාර සංස්කෘතියට එක්විය. විශේෂයෙන් පත්‍රවල ඔතන ලද බත් හා මාලු මිශ්‍ර සුශි රෝල් එක්වී ඇත්තේ චොප්ස්ටික් මගින් ආහාර ගැනීමේ පහසුව සදහායි. මස් හා මාලු වර්ග කපා ගැනීමට මුල් කාලයේ පිහියක් ද කෑම මේසයේ තබා ගත් අතර පසුව එය කෑම මේසයෙන් ඉවත් විය. ඒ කැපෙන උපකරණ ආහාර ගන්නා විට ලග තබා ගැනීම සුදුසු නොවන බව ඔවුන් තුල පැවති විශ්වාසය නිසයි. 

එසේම පසු කාලයේ දී චොප්ස්ටික්වල ද විවිධ වෙනස්කම් සිදුව තිබේ. චීනයේ චොප්ස්ටික් ඉතා තුනි උල් හැඩයක් ගනී. ජපානයේ චොප්ස්ටික් ප්‍රමාණ දෙකකි. එනම් පිරිමින් සදහා අගල් අට ප්‍රමාණ වන අතර කාන්තාවන් සදහා ඇත්තේ අගල් 7 ප්‍රමාණයෙනි. 1878 දී ජපානය දීර්ඝ කාලයක් භාවිත කල හැකි මුල්ම චොප්ස්ටික් යුගල නිපදවා ඇත. ඒ ලී ආධාරයෙනි. එයින් පසු උණ බම්බු හා ලී ආධාරයෙන් මේවා නිපදවීම ආරම්භ කර ඇත. මේ වන විට පොහොසත් පුද්ගලයන් සදහා වඩාත් මිල අධික ඇත් දල, කොරල්, පිත්තල, අගස්ති, ජේඩ් වැනි අමුද්‍රව්‍ය මගින් චොප්ස්ටික් නිපද වේ. සමහර පුද්ගලයන් රිදීයෙන් සැකසූ චොප්ස්ටික් වලට කැමති වුවත් කල්ගත වන විට අව පැහැ වීමත් රිදී මිශ්‍ර වීම නිසා ආහාර විශ වේ යැයි ඇති සැකය නිසාත් රිදි චොප්ස්ටික් එතරම් භාවිත නොවේ. 

ආසියානු කලාපයේ බත් පිසිමේදි කිරි බත්, බෙරි බත් ආදී වශයෙන් මදක් ඇලෙන සුලු අයුරින් පිසගන්නා නිසා චොප්ස්ටික් මගින් ආහාර ගැනීමේ අපහසුවක් නැත. එය ආහාර ගැනීමේ ක්‍රමය තවත් අලුත් කරන්නට හේතුවකි. ඉතින් ඔබටත් චොප්ස්ටික් මගින් ආහාර ගැනීමට හුරුවිය හැකිය. එසේනම් එය අලුත් සුවිශේෂී අත්දැකීමක් ද වනු ඇත. 


Comments