දාම ඝාතකයා කියන්නේ කාට ද?

 


සීරියල් කිලර් එහෙමත් නැත්නම් දාම මිනිමරුවන් ගැන ඔබ අහලා ඇති. ඇත්තටම මිනිහෙකුට හෝ ගැහැණියකට එකම ආකාරයකින් මිනිස්සු ගොඩක් මරලා දාන්න හිතෙන්නේ ඇයි? දාම ඝාතනයක දී සත්‍ය වශයෙන්ම සිදුවන්නේ එක හා සමාන අයුරින් එක හා සමාන වයස් කාණ්ඩයන් එකම කාලයක දී එක දිගට මරා දැමීමයි. කෙනෙක්  මෙය රහසේ සිදුකරන විට තවත් අයෙක් සංකේත ඉතිරි කරමින් ප්‍රසිද්ධියේ සිදු කිරීමටත්  පෙළබේ. 

මේ තත්ත්වය පිළිබඳව කතා කරන මනෝ විද්‍යාඥයින් කියන්නේ ඉතාම කුඩා අවධියේ දී විදින්න සිදුවුණු තාඩන පීඩන හා කම්කටොලු නිසා ඔවුන් මේ තත්ත්වයට පත්වෙනවා කියලයි. විශේෂයෙන්ම ඉතාම කුඩා වියේ දී තමන්ගේ සමීප ඥාතීන් අතින් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වෙන දරුවන් වැඩිහිටි වියේ දී සීරියල් කිලර් එහෙමත් නැත්නම් දාම ඝාතකයින් බවට පත්වෙන බව පර්යේෂණයකින් සොයා ගත්තා. තමාට ගොඳුරක් වන පුද්ගලයින් මරා දමා පසුව මළ සිරුර සමඟ ලිංගිකව හැසිරීමටත් ප්‍රිය කරන බව තමයි මේ පර්යේෂණයෙන් වැඩි දුරටත් අනාවරණය වුණේ. FBI එහෙමත් නැත්නම් Fedaral Bureau of Investigation ආයතනය කළ පර්යේෂණයකින් මේ සඳහා බලපාන කරුණු රැසක් පිළිබඳව හෙලිදරව් කළා. 

එනම් මංකොල්ල කෑමේ අදහසින් පුද්ගලයින් මරා දැමීම, ලිංගික හිංසනය සිදු කර මරා දැමීම හෝ ලිංගික හිංසන සිදුකිරීම සඳහා මරා දැමීම (මේ සඳහා වැඩි වශයෙන් ගොඳුරු වන්නේ දරුවන් සහ කාන්තාවන්) හා ප්‍රසිද්ධිය හෝ අවධානය දිනාගැනීම සඳහා මරා දැමීම යන හේතු මත පුද්ගලයින් දාම මිනී මැරුම් සඳහා යොමු වන බව ඔවුන් පෙන්වා දුන්නා. මෙයින් වඩාත් භයානකම අවස්ථාව වන්නේ ප්‍රසිද්ධිය සඳහා ඝාතන සිදු කිරීමයි. එය බොහෝ විට ඉතා තදබල මානසික වියරුවක් බව අනුමාන කළ හැකියි. 

ලොව පළමු දාම ඝාතකයා

එංගලන්තයේ හැම්ෂයර් පළාතේ ජීවත් වුණු Herman Mudgett නම් පුද්ගලයෙක් ලොව පළමු දාම ඝාතකයා ලෙස වාර්තා වේ. ඔහු 1896 මැයි මස 16 වන දින උපත ලබා ඇති අතර මිය ගොස් ඇත්තේ 1896 මැයි 07 වන දින ඇමරිකාවේ ෆිඩෙල්ෆියා හීදියි. හැම්ෂයර් ප්‍රදේශයේ ඉතාම ධනවත් පවුලක උපන් මෙම පුද්ගලයා කුඩා කල සිය වයසටත් වඩා පැසුණු බුද්ධියකින් යුතු පුද්ගලයකු බව කියවේ. ළමා වියේ සිටම ශල්‍ය වෛiවරයෙක් වීමේ සිහිනයක් තිබුණු Herman Mudgett සතුන් සැත්කමට භාජනය කිරීම, සිරුරේ කොටස් පරීක්‍ෂා කිරීම ආදි කටයුතු වල නිරත විය. ඒ සඳහා මිය ගිය සතුන් නොව තමා විසින්ම මරා දැමු සතුන් යොදාගැනීම ඔහු සිදු කලේ ය. ඔහු පිළිබඳව කතා කරන පුද්ගලයන් පවසන්නේ මේ පුද්ගලයා කුඩා කල පටන්ම දාම ඝාතන කෙරෙහි යොමුවන්නට ඇති බවයි. 

වෛද්‍ය විද්‍යා ඉගෙනීම සඳහා මිචිගන් සරසවියට ඇතුළු වුණු Herman Mudgett එයින් පසු වෙෙද්‍යවරයෙක් ලෙස චිකාගෝවේ සිය වෘත්තිය ආරම්භ කලේ ය. ඒ සඳහා නිවසක් යොදාගත් අතර එහි ශබ්ධය නොඇසෙන කාමරයක්, රහස් කුටියක් ඇතුළු නවීන අංග උපාංග එක්කලේය. ඒ වෙත යාම සඳහා රහස් පැසේජයක් ඉදිකළ අතර එහි දොර පිටතින් ලොක් කල හැකි එකකි. ඔහු පුද්ගලයින් මරා දැමීමෙන් පසු ඔවුන් පුළුස්සා දැමීම සඳහා ගෑස් භාවිත කර තිබේ. එයින් පසු ඔවුන්ගේ දේපල කොල්ල කෑම අභිප්‍රාය විය. මරා දැමීම සඳහා තෝරාගත්තේ තමා සමඟ සේවයට පැමිණෙන “ඉස්තරම් රක්‍ෂණ සැලසුමක් ඇති” හෙද සහයකයන් වීම ද විශේෂත්වයක් වුණා. එයින් බලාපොරොත්තු වුයේ අදාල රක්‍ෂණ වන්දිය කොල්ල කෑමයි. ඔහු සමහර මල සිරුරු වෙෙද්‍ය විද්‍යාලවලට ලබා දී තිබුණු බව සඳහන්. 

මේ ආකාරයෙන් ඔහු මිනිසුන් 200 ක් පමණ මරා ඇතිබව කියවේ. 

.....................................................................................................................................................................

මෙවැනි දාම ඝාතකයින් බොහෝ දෙනෙකු ගැන කලින් කලට අසන්නට ලැබුණ ද ඒ කිසිවකුට හෝ නීතියෙන් නම් ගැලවීමක් ලැබුණේ නැහැ. තනිව ජීවත් වන කාන්තාවන් හා කුඩා දරුවන් ඉලක්ක කළ දාම ඝාතකයින් අදටත් ඇමරිකාව ඇතුළු යුරෝපා රටවලින් නිරන්තරයෙන් වාර්තා වුවත් ඔවුන් අවසානයේ දී නීතියේ රැහැනට හසුව තිබේ. දාම ඝාතකයින් කොතරම් ලොව භීතියෙන් මුසපත් කළා ද යත් ඔවුන් පිළිබඳව නිර්මාණය වුණු චිත්‍රපට ගණන ද අතිවිශාලය. ඒ අතර “ෆොරන්සික්, ද කෝල්, සයිකෝ” වැනි චිත්‍රපට ඉදිරියෙන්ම සිටියි.

කෙසේ වෙතත් දරුවන්ට කුඩා කළ පටන් ආදරය හා කරුණාව පෙරදැරිව යහපත් සමාජ වටපිටාවක් ඔස්සේ හැදෙන්නට වැඩෙන්නට ඉඩ සැලැස්වීමෙන් ඔවුන් මෙවන් දාම ඝාතකයින් බවට පත්වීම හෝ දාම ඝාතකයින්ගේ ගොඳුරක් බවට පත්වීම වළක්වාගත හැකි බව අප අවබෝධ කරගත යුතුය.  


Comments