ඔබත් මිලේච්ඡ මෝඩයෙක් ද

ස්පාඥ්ඥ ගොන් පොර ගැන අහලා තියෙනවා නේද? හොඳින් වැඩුණු ''බුල්" ගවයින් යොදාගෙන කරන මේ ක්‍රිඩාව ක්‍රිස්තු වර්ෂ 722 ක දක්වා කාලයට දිවයනවා. ඒ කාලේ ස්පාඥ්ඥයේ රජ කරපු අල්ෆොන්සෝ කියන රජතුමාගේ අඥ්ඥාවක් පරිදි තමයි මේ ක්‍රිඩාව පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම ස්පාඥ්ඥයට යටත් වුණු මෙක්සිකෝව, කොලොම්බියා, ඉක්වදෝරය වගේ රටවලටත් ගොන් පොර ක්‍රිඩාව පැතිර ගියා. මෙය අයත් වෙන්නේ මළල ක්‍රිඩා කාණ්ඩයට. මෙහිදී ගවයන් ඇවිස්සීම මඟින් කෝප ගන්වා ඔවුන් සමඟ තරගයට දිව යාම, සටන් කිරීම ආදිය සිදුවෙනවා. මෙයින් මිනිසුන්ටත් හානි සිදුවෙන්න පුළුවන්. නමුත් අවසාන තරගයේ දී ගවයා සමඟ සටන් කරන පුද්ගලයා විසින් ගවයා මරාදැමීම තමයි සිදුවෙන්නේ. ඒ සඳහාම නම ගිය ගොන්පොර ක්‍රිඩකයන් ඉන්නවා. ඒ වගේම මේක ප්‍රසයිඩන් නම් දෙවියාට කරන ගෞරවයක් ලෙස නිර්මාණය වුණු ක්‍රිඩාවක් බවත් අන්තර්ජාලයේ සඳහන්. මෙයින් වීරයා හා දුබලයා හඳුනාගැනීමත් අරමුණු කරනවා. 

කොහොම වුණත් ගොන් පොර කියන්නේ ඇත්තටම ශිෂ්ඨ සම්පන්න සමාජයට හෝ මනුෂ්‍යත්වයට ගැලපෙන ක්‍රීඩාවක් නෙවෙයි. සත්ව හිංසනය අප කොහොමත් අනුමත කරන්න බැහැ. ඒ නිසාම ලොව පුරා වෙසෙන සත්ව සංවිධාන බොහෝමයක් මෙම ක්‍රිඩාවට විරුද්ධව කාලයෙන් කාලයට විවිධ වැඩසටහන්, විරෝධතා ආදිය සංවිධානය කළා. ඒ අතරතුර ලෝක සිනමාව, වේදිකාව හා කලාව ද මේ වෙනුවෙන් තමන්ට හැකි පමණින් දායක වුණා. අන්න එහි ප්‍රථිපලයක් තමයි ඔබ අපි කවුරුත් ආදරයෙන් වැළඳ ගත් ෆර්ඩිනැන්ඩ් චිත්‍රපටය. 

හොලිවුඩයේ දී 2017 වසරේ උපන් ෆර්ඩිනැන්ඩ් චිත්‍රපටය පරිගණක සජීවිකරණ නිර්මාණයක්. මෙය බ්ලු ස්කයි ස්ටුඩියෝ හී නිෂ්පාදනයක් වගේම එය ප්‍රේක්‍ෂකයන් සඳහා බෙදාහැරීම සිදුකලේ 20 සෙන්චරි ෆොක්ස් ආයතනයෙන්. මේ චිත්‍රපයට සඳහා පාදක වුණේ 1936 දී රොබර්ට් එල් බර්ඩ් විසින් ලියන ලද ''ද ස්ටෝරි ඔෆ් ෆර්ඩිනැන්ඩ්'' නම් ළමා කතාවයි. මෙහි ෆර්ඩිනැන්ඩ් ගේ චරිතය සඳහා හඬ කැවීමෙන් දායක වෙන්නේ වෘත්තීමය රෙස්ලින් ක්‍රීඩකයෙක් වන ජෝන් සීනා යි. 

චිත්‍රපටයේ පසුබිම් කතාව 

පුංචි ෆර්ඩිනැන්ඩ් ඉපදෙන්නේ ගවපොර සඳහා නම් දරාපු ශූරයෙක් වුණු සෙනෝ මරිනෝස් ගේ   නිවසේ. මේ නිවසේ තවත් ගොඩක් ගවයන් ඉන්නවා. ඒ අය ගොන් පොර සඳහා නගරයට යනවා. නමුත් ආපහු එන්නේ නැහැ. ෆර්ඩිනැන්ඩ් ගේ තාත්තත් ඒ විදියටම තරගයට යනවා. නමුත් ආපහු එන්නේ නැහැ. ෆර්ඩි ට ඕන වෙනවා මෙතනින් ගැලවෙන්න. පුංචි ෆර්ඩි තනියම බේරිලා යනවා. ෆර්ඩිට මේ ගමනෙදී හරිම අපූරු පවුලක් මුණගැසෙනවා. පුංචි ගැහැණු දරුවෙක් සහ එයාගේ තාත්තා වගේම එයාලා හුරතලයට ඇති කරන බලු පැටියා සහ එලිච්චියෙක් තමයි අවසානෙදි ෆර්ඩිගේ පවුලේ අය වෙන්නේ. නමුත් දවසක් සිදුවන අත්වැරදීමක් නිසා ෆර්ඩි ව ආයෙමත් සෙනෝ මරිනෝස් ට හසුවෙනවා. කතාව පටන් ගන්නේ එතනින්. 

මිනිස්සු මිලේච්ඡයන් විදියට දකින මේ “බුල්” වර්ගයේ ගවයින් වුණත් ආදරය සෙනෙහස තිබෙන තැන්වල පුංචි දරුවන් තරම්ම අහිංසකයන් බව ෆර්ඩිනැන්ඩිගේ චරිතය තුළින් පෙන්වා දෙනවා. සතුන්ටත් මිනිස්සුන්ට වගේම ආදරය කරුණාව, නිදහස, ජීවත් වීමේ අයිතිය ලැබියයුතු බව තමයි මේ චිත්‍රපටය තවදුරටත් කියා දෙන්නේ. එ නිසාම  මේ චිත්‍රපටය අැකඩමි සම්මානය සදහාත් නිර්දේශ වෙනවා. එ වගේම හියුමනිටි සම්මානය දිනාගන්නත් සමත් වෙනවා. මේ සම්මානය හිමිවෙන්නේ මනුෂ්‍යත්වය, අාදරය හා නිදහස උදෙසා නිර්මාණය වන චිත්‍රපට වෙනුවෙන්. අමතරව තවත් සිනමා සම්මාන නවයක් සදහාත් නිර්දේශ වුණා. 

ටිකට් එකක් අරන් සත්තු වත්තට ගිහින් හිරකරලා ඉන්න සත්තුන්ට කෑම විසිකරලා කොලොප්පම් කරලා සතුටු වෙන මිනිස්සු වගේම, තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න හරකෙක් අවුස්සලා මෝඩ විදියට සතුටු වෙන මිනිස්සු අතරෙත් ලොකු වෙනසක් නැහැ. මේ චිත්‍රපටය කුඩා දරුවන් වගේම වැඩිහිටි ඔබත් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.


මොකද “මෝඩකම සහ මිලේච්ඡත්වය අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක්” 


Comments