සිංහල සිනමාවේ රන් සන්නාමය

දේශබන්දු ගම්මන්නගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් ජෝ අබේවික්‍රම වර්ෂ 1927 ජූනි මස උපත ලබා 2011 සැප්තැම්බර් මස 21 වන දින මෙලොව හැර යන්නේ සිංහල  සිනමා වංශ කතාවේ නොමැකෙන සටහන් තබමින් ය. හොඳම නළුවා ලෙස සරසවි සම්මාන 18 කින් පිදුම් ලබා ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබු මේ කෘතහස්ත රංගවේදියා 1999 වසරේ දී සිංගප්පුරු ජාත්‍යන්තර සිනමා සම්මාන උළලේ දී දකුණු ආසියාවේ විශිෂ්ඨතම රංගන ශිල්පියා ලෙසින් රිදී සිනමා සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ  ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්‍ෂණය කල පුරහඳ කළුවර චිත්‍රපටයේ වන්නිහාමී ගේ චරිතයෙන් ඔහු පෙන් වූ අසහාය රංග පෞර්ෂය වෙනුවෙනි. 

වර්ෂ 1950 දී සිය රංගන දිවිය ආරම්භ කළ ජෝ අබේවික්‍රම මහතා සිනමාව, වේදිකාව සේම ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී තිබේ. ඕනෑම චරිතයක් තුළ ඇති ගාම්භීර බව, ප්‍රහසනය හා පෞර්ෂය ඉතාම නාට්‍ය අනුසාරයෙන් ඉදිරිපත් කිරීම ඔහු තුළ දක්නට ලැබෙන වඩාත්ම විශිෂ්ඨ රංග කෞෂල්‍යයි. සිංහල සිනමාවේ නොමැකෙන නාමයන් තැබු සුවිශේෂීම රංගධරයෙක් ලෙස කිරුළු පැළදු ඔහු ගාමිණි ෆොන්සේකා, ටෝනි රණසිංහ යන සිනමාවේ අද්විතීයම කලාකරුවන් දෙපල හා සම මට්ටමේ ලා පිළිගැනෙයි. මෙරට සිනමාවේදීන් ජෝ අබේවික්‍රම මහතා හඳුන්වන්නේ සිංහල සිනමාවේ ඔටුනු පළන් රජු ලෙසයි. එසේම වසරක් පාසා ඉන්දියාවේ පැවැත්වෙන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලට ආරාධනා ලැබු එකම සිංහල සිනමා නළුවා වන්නේ ද ජෝ අබේවික්‍රම මහතායි. ඔහු මෙම සිනමා උළෙලට සහභාගි වුයේ 1966 වසරේ සිටයි. 

ඔහුගේ ජීවිතයෙන් බිඳක් 

රත්නපුර ලෙල්ලෝපිටිය ප්‍රදේශයේ උපන් ජෝ අබේවික්‍රම මහතා සහෝදර සහෝදරියන්  හතරදෙනෙකුගෙන් යුතු පවුලේ පළමු වැන්නායි. ඉතාම ග්‍රාමීය පරිසරයක ජීවත් වු ඔහු ගේ ජීවිතය සකස් වී තිබුණේ කෘෂිකාර්මික ජීවන අත්දැකීම් සහ ග්‍රාමිය අත්දැකීම් සම්මිශ්‍රණයකිනි. ඔහු ගේ පියා එවක මෙරට එංගලන්ත ආණ්ඩුකාරවරයා වුණු ජෝන් ඩොයිලි මහතා සමඟ සමීප සබඳතා පැවැත්වු හෙයින් ජෝ අබේවික්‍රම මහතාට ජෝන් යන නම හිමිව තිබේ. 

ඔහු දිප්පිටිගල මිශ්‍ර විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබ එයින් අනතුරුව රත්නපුර සීවලි මහා විද්‍යාලයටත් උසස් අධ්‍යාපනය සඳහා රත්නපුර ඇලෝසියස් විද්‍යාලයටත් ඇතුළු විය. සිය අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු ලේල්ලපිටිය සමුපකාරයේ කළමණාකරුවෙක් ලෙස හෙතෙම සිය වෘත්තීය ජීවිතය ආරම්භ කලේය. එයින් පසු සිරිසේන විමලවීර මහතාට අයත් නවජීවන ඡායාරූපාගාරයේ සේවය කිරීම සඳහා ජෝ අබේවික්‍රම මහතා කොළඹ ප්‍රදේශයට පැමිණියේ ය. ඒ 1940 වර්ෂයේ දීයි. එමඟින් රත්නපුර ප්‍රදේශයේ සිදුකළ රූගත කිරීමකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණු ජෝ අබේවික්‍රම මහතා එයින් අනතුරුව සිනමා ක්‍ෂෙත්‍රය සමඟ සම්බන්ධ විය. 

ඔහුගේ පළමු චිත්‍රපටය වන්නේ එම්.එච් මුනාස් මහතා අධ්‍යක්‍ෂණය කළ දේවසුන්දරී ප්‍රහසන චිත්‍රපටයයි. එයින් කෙටි කාලයක් ප්‍රහසන නළුවෙක් ලෙස රංගනයේ නිරත වුණු ජෝ අබේවික්‍රම මහතා එයින් පසු වඩාත් සංවේදි සිනමා නිර්මාණ සඳහා රංගනයෙන් දායක විය. “දීපශිකා, සොල්දාදු උන්නැහේ, චන්ඩියා, ස්වීප් ටිකට්, අල්ලපු ගෙදර, එක්ටැම් ගේ සහ සාරවිට” යන චිත්‍රපට ඔහුගේ අතිවිශිෂ්ඨ රංගන කෞෂල්‍ය පිළිබිඹු කළ සිනමා නිර්මාණ වේ. 1965 දී වසරේ විශිෂ්ඨතම නළුවා ලෙසින් සිය පළමු සරසවි සම්මානය දිනාගැනීමට ඔහු සමත් වන අතර එම සම්මානය හිමි වූයේ සාරවිට චිත්‍රපටයේ සරා අයියාගේ චරිතය වෙනුවෙනි. 

                                                   (වැලිකතර චිත්‍රපටයේ ගෝරින් මුදලාලි ලෙස) 

1971 වසරේ දී එතෙක් මෙතෙක් සිනමා ඉතිහාසයේ නිර්මාණය වුණු විශිෂ්ඨතම සිනමා නිර්මාණය වන ඩී.බී නිහාල් සිංහයන්ගේ වැලිකතර චිත්‍රපටයේ ගෝරිං මුදලාලි ගේ චරිතය ඔහු සිය රංගන දිවිය තුළ රඟ පෑ සුවිශේෂීම චරිතයක් ලෙස ඉතිහාස ගතවී තිබේ. එයට අමතරව තුන්මං හන්දිය, ගැටවරයෝ චිත්‍රපටයේ සෙමනේරිස් ගේ චරිතය, සැඩොල් කඳුළු, සිරි බෝ අයියා, බඹරු ඇවිත් වැනි චිත්‍රපට ඔහු සිය රංගනයෙන් දායක වුණු අති විශිෂ්ඨ චිත්‍රපට වේ. එසේම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්‍ෂණය කළ බැද්දේගම චිත්‍රපටයේ සිලිඳු ගේ චරිතයට ද ඔහු රංගනයෙන් දායක විය.  

                                    (ගම්පෙරලිය ටෙලි නාට්‍යයේ කයිසාරුවත්තේ මුහන්දිරම්  ලෙස)

එසේම ඔහු ඉංග්‍රිසි චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වුණු අතර ඒ “පීටර් ඔෆ් ද එලිෆන්ට් සහ ත්‍රි යෙලෝ කැට්ස්” යන චිත්‍රපට සඳහායි. මිය යන විට චිත්‍රපට 172 කට රංගනයෙන් දායක වී තිබුණු ජෝ අබේවික්‍රම මහතා එයින් චිත්‍රපට 62 ක ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී ඇති අතර තවත් චිත්‍රපට 100 ක් සඳහා සහය නළුවා ලෙසින් රංගනයෙන් දායක වී තිබේ. එයට අමතරව බැරි සිල්, කැලේ මල්, අඳු කොළ, වනස්පති, ගම් පෙරළිය, සකිසඳ එළියස්, ඇසළ කළුවර වැනි ටෙලි නාට්‍ය සඳහාත් රංගනයෙන් දායක වී තිබේ. 

එසේම ඔහු “මහබඹා ට මුහුණු දෙකයි” නමින් නවකතාවක් ද රචනා කර ඇති අතර එය 1970 දී ප්‍රකාශයට පත්විය. 




Comments