හමුදා සෙබළුන් පණපිටින් වැලලූ Operation Tracer මෙහෙයුම

 

යුරෝපයේ දකුණු බටහිර කෙළවරේ බ්‍රිතාන්‍ය වෙරල තීරයක උස්ව නැගී සිටින සුවිසල් තනි හුණුගල් පර්වතයක් ඇත. මේ හුණු ගල් පර්වතයේ නම “ජිබ්‍ර්ල්ටාර් පර්වතයයි”. ශත වර්ෂ ගණනාවක් තිස්සේ බ්‍රිතාන්‍යයට තිබුණු ස්වාභාවික ආරක්ෂක බලකොටුව වූයේද මේ “ජිබ්රල්ටාර්” පර්වතයයි. 18 වන සියවසේදී ඇමරිකානු කැරැල්ල අතරතුරදීද, පසු කාලීනව දෙවන ලෝක යුද්ධ සමයේදීද බ්‍රිතාන්‍ය හමුදාව විසින් සතුරු හමුදාවන්ගෙන් එල්ල විය හැකි ප්‍රහාර වලින් ආරක්ෂා වීමට මෙම පර්වතය තුළ සංකීර්ණ උමං ගොඩනැගිලි පද්ධතියක් ඉදි කරන ලදී. ජිබ්‍රල්ටාර්වේ ඇතුලත ඇති කිලෝමීටර් පනහකට වඩා දිග උමං පද්ධතිය කලෙක තුවක්කු, පුපුරණ ද්‍රව්‍ය පමණක් නොව, හමුදා බැරැක්ක හා හමුදා රෝහල් වලින් පවා සමන්විත අංග සම්පූර්ණ හමුදා මූලස්ථානයක්ව තිබිණ.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ජිබ්‍රල්ටාව ගැන අමුතු කතාවක් පැතිරෙන්නට විය. මිනිසුන් හය දෙනෙකු රදවා තැබිය හැකි, පිටතින් අගුළු ලන රහස් උමගක් ජිබ්‍රල්ටාර් පර්වතය තුළ ඇති බවයි ඒ. එසේ උමං තුළ රදවන පුද්ගලයින් හය දෙනා බ්‍රිතාන්‍ය නාසි පාලනයට යටත් වන අවස්ථාවක් වේ නම් එතැන් සිට වසරක කාලයක් පුරාවට උමග තුළ වසන් වී සිට ජර්මානුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව ඔත්තු බලන්නට නියමිතව තිබුණු බවත් කියවුණු කට කතා පැතිරෙන්නට විය.
මේ රහස් ඔත්තු කාරයින්ගේ උමග ගැන තොරතුරු වසර ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ කටකතා වලටම පමණක් සීමා විය. එහෙත් ගවේෂකයෝ වසර ගණනාවක් තිස්සේ මේ රහස් උමග සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ජිබ්‍රල්ටාවේ ඇතුලත උමං මාර්ග වල අහුමුලු නෑර පිරික්සූහ. එහෙත් දෙවන ලෝක යුද්ධය නිමාවට පත්ව වසර පනහක් පමණ ගත වන තුරුම එවන් රහස් උමගක් ගැන හෝඩුවාවක්වත් ජිබ්‍රල්ටාවෙන් හොයා ගන්නට කිසිවෙකු සමත් වූයේ නැත.

1997 අවුරුද්දේ අවසන් මාස කිහිපය තුළ ජිබ්‍රල්ටා උමං ගවේෂණයට ගිය Gibraltar Caving Group නම් ගවේෂක කණ්ඩායමට එක් උමගක් තුළදී කොහෙන්දෝ හමා ආ නැවුම් සුළං රැල්ලක පහස විදින්නට ලැබිණ.

පර්වතය තුළට සැතපුම් ගණනක් ඇවිත් තිබියදී උමග තුළින් එළි මහනක ඇති අන්දමේ සුලං රැල්ලක් හමා ඒම ගැන සැක පහල කළ ගවේෂක කණ්ඩායම එම සුලං රැල්ල ආ දිශාව ඔස්සේ ගවේෂණ කටයුතු මෙහෙයවන්නට වූහ. ඒ ගවේෂණ වල ප්‍රතිඵලය වූයේ ජිබ්‍රල්ටා පර්වතයේ දකුණු කෙළවරට වන්නට පිහිටා තිබුණු විශාල උමං කාමර සංකීර්ණයක් සොයා ගන්නට හැකි වීමය. ගවේෂකයින්ට හමුවූ අමුතු ගඩොල් බිත්තියකින් ගඩොල් ඉවත් කර බැලූ විට ඉන් ඔබ්බෙහි වූයේ නිරීක්ෂණ කුටි කිහිපයකි. සීතලත්, ශබ්ද කම්පනත් මැනවින් පාලනය කරගත හැකි වන අන්දමට මේ නිරීක්ෂණ කුටි වල පොලවත් බිත්තිත් සාදා තිබුණේ ලී පතුරු වලිනි. ගුවන් විදුලි සංඥා කම්බියක හා බයිසිකල් රෝදයක සුන්බුන්ද එහි ඉතිරිව තිබිණ.

මේ අපූරු රහස් ඔත්තු කුටි සමූහය ඊට වසර ගණනාවකට පෙර “Operation Tracer” නම් වූ බ්‍රිතාන්‍ය හමුදාවේ අතිශය රහසිගත මෙහෙයුමක ප්‍රතිඵලයක් විය.
“ඔපරේෂන් ට්‍රේසර්” නිර්මාණය වූයේ දෙවන ලෝක යුධ සමයේ අසීරුතම කාල සීමාවක් තුළදීය. 1940 දී ප්‍රංශය ජර්මානුවන් අතට පත් විය. මධ්‍යධරණී මුහුදේ නාවික මෙහෙයුම් හසුරුවන්නට ජිබ්‍රල්ටාව තමන්ගේ පාලනය යටතට ගන්නට අදහසක්ද හිට්ලර්ට තිබිණ. මේ තර්ජනය ගැන ඉව වැටුණු බ්‍රිතාන්‍ය හමුදාවේ බුද්ධි නිලධාරීන් විසින් Operation Tracer නිර්මාණය කරන ලදී.

බ්‍රිතාන්‍ය නෞකා බලස්ථානයේ නාවුක බුද්ධි අංශයේ අධ්‍යක්ෂක වූ රියර් අද්මිරාල් ජෝන් හෙන්රි ගොඩ්ෆ්‍රි මේ සදහා වෙනස්ම ආකාරයේ යෝජනාවක් ගෙන ආවේය. ජිබ්‍රල්ටාව සතුරු හමුදාවන්ගේ අතට පත් වුවද ජිබ්‍රල්ටාවේම රහස් තැනක සැගවී සිට සතුරු හමුදාවේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්නටත්, ඒ ක්‍රියාකාරකම් පිළිබදව බ්‍රිතාන්‍ය හමුදාව දැනුවත් කරන්නටත් හැකි ආකාරයේ රහස් කුටි කීපයක් නිර්මාණය කරන්නට ඔහු යෝජනා කළේය.

මේ රහස් කුටි ජිබ්‍රල්ටාවේ කෙළවර, වරාය නිරීක්ෂණය කරන්නට හැකි අන්දමට පර්වතයේ කුඩා විවර දෙකක් ආවරණය වන පරිද්දෙන් නිර්මාණය කරන්නට තීරණය විය. මේ කුටි බාහිරින් සීල් කරන්නට පෙර ඔත්තු බලන නිලධාරීන් හය දෙනෙකු මේ කුටි වලට ඇතුලත් කෙරෙයි.

මෙසේ තමන්ව රහස් ඔත්තු කුටි වලට දමා සීල් තබනවාටත්, එතැන් සිට සතුරු හමුදාවද ලැගුම් ගෙන සිටින පර්වතයේම සැගවී සිට තම මව් රට වෙනුවෙන් ඔත්තු බලන්නටත් කැමැත්තෙන් ඉදිරිපත් වුණු බ්‍රිතාන්‍ය බුද්ධි නිලධාරීන් හය දෙනෙකුත් තෝරා ගැනිණ. ඔවුනට වසරක කාලයක් පුරා දිවි රැකගන්නට ප්‍රමාණවත් ආහාර, බෙහෙත් ජලය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියල්ල මේ කුටි තුළ තැන්පත් කෙරෙයි. මේ නිලධාරීන් හය දෙනා මේ කුටිය තුළට ඇතුලත් කළ පසුව පිටතින් සීල් තැබෙන බැවින් ඔවුන්ට පිට වීමට කිසිදු අවකාශයක් නැත. එතැන් සිට වසරක කාලයක් තුළ ඔවුන් මේ කුටියේ රැදී සිටිය යුතු අතර, ඒ කාලය තුළ කිසිවෙකු මිය ගියහොත් ඒ මියගිය තැනැත්තාගේ මළ සිරුර මේ කුටිය තුළම පොළවේ වල දැමිය හැකි ආකාරයට බිමද සකස් කෙරෙයි.

වසරක් ඇතුලත ජර්මානු හමුදාවන් පරාජය කරන්නට බ්‍රිතාන්‍ය හමුදාවට හැකි වුවහොත් මේ නිලධාරීන් හය දෙනාට දිවි ගලවා ගන්නට හැකිය. එසේ නොහැකි වුවහොත් ඔවුන්ට සිදුවනුයේ මේ උමං කාමර තුළදීම තම ජීවිතය නිමා කරන්නටය.

සැබවින්ම මෙය දිවි නසා ගැනීමේ මෙහෙයුමක් වැනිය. වෙනත් වචන වලින් කිවහොත් “පණ පිටින් වැලලීමේ” මෙහෙයුමකි. මේ සියදිවි නසා ගැනීමේ මෙහෙයුමට බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වූහ. ඒ අතරින් දෙදෙනෙකුම වෛද්‍යවරුන් වූහ. සංඥා නිලධාරීන් තිදෙනෙකුද, එක් ප්‍රධාන විධායක මෙහෙයුම් නිලධාරියෙකුද මෙයට එක් වූහ. ඔවුන් මේ මෙහෙයුමට සහභාගි වෙන්නට පොරොන්දු වන තුරු මෙහෙයුම ගැන වැඩිදුර විස්තර ඔවුන්ටවත් හෙලි කෙරුණේ නැත.

රහස් උමං කුටි වල ඉදි කිරීමේ කටයුතු 1941 දෙසැම්බර් මාසයේදී ඇරඹුණි. 1942 මුල් භාගය වන විට රහස් උමං පද්ධතියේ ඉදිකිරීම් කටයුතු අවසන්ව තිබිණ. අඩි 45ක් දිග, අඩි 16ක් පළල සහ අඩි අටක් උස කුටියක්ද, ජිබ්‍රල්ටාර් වෙරලත්, මධ්‍යධරණී මුහුදත් නිරීක්ෂණය කළ හැකි කුඩා කවුලු සහිත පටු නැරඹුම් තීරු දෙකක්ද, නාන කාමරයක් හා ගුවන්විදුලි සංඥා කුටියක්ද, විශාල ගැලුම් 10,000ක ධාරිතාව ඇති ජල ටැංකියක්ද, ජෙනරේටර් දෙකක්ද ඇතුළුව මෙම රහස් උමං කුටි පද්ධතිය නිර්මාණය විය.

මෙකී කුටි වල සිට බ්‍රිතාන්‍ය නාවික හමුදාවට සතුරු හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබදවද, වසරක කාලයක් තුළ මෙම කුටි වලට සීමා වී රැදී සිටින අයුරු පිළිබදවද දීර්ඝ පුහුණුවක් තෝරාගත් නිලධාරීන් හය දෙනෙකුටද දෙනු ලැබිණ.

1942 වසරේ මැද වන විට මේ “පණපිටින් වැලලීමේ මෙහෙයුම”ට අවශ්‍ය සියලු භෞතික හා මිනිස් සම්පත් සූදානම් ව තිබිණ. එමෙන්ම ඒ වන විටත් බ්‍රිතාන්‍ය හමුදාව විසින් තීරණය කොට තිබුණේ ඉදිරියේදී ඇති වන යුද්ධයකදී වුවත් භාවිතයට ගැනීමට හැකි වන පරිදි අනාගතයේදී මෙම රහස් කුටි සංවර්ධනය කොට නිර්මාණය කරන්නටය.
වාසනාවකට මෙන් මේ පණපිටින් වැලලීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට අවකාශයක් ලැබුණේ නැත. ඇඩොල්ෆ් හිට්ලර්ගේ අවධානය ජිබ්‍රල්ටාවෙන් ඉවතට යොමු විය. මෙහෙයුමට සූදානම් කොට ස්ථාන ගත කල ද්‍රව්‍ය එතැනින් ඉවත් කර ගැනිණ.

දෙවන ලෝක යුද්ධයත් ඉවර වී වසර පනහකට පසුව 1997 දී මෙම උමං කුටි සොයා ගැනීමෙන් පසුව මේ උමං කුටි බලන්නට තවත් විශේෂ අමුත්තෙකුද ආවේය. ඒ Operation Tracer මෙහෙයුමට සහභාගි වෙන්නට නියමිතව සිටි නිලධාරින් අතරින් එක් අයෙකු වූ ලුතිනන් කොමාන්ඩර් බෲස් කූපර්ය. ඒ වන විට ඉතිරි නිලධාරින් පස් දෙනා ජීවතුන් අතර නොවූහ. ලුතිනන් බෲස් කූපර් ඒ වසර පනහක කාලය තුළම Operation Tracer රහසක්ව තබා ගෙන උන්නේය. 2008 වසරේදී ලුතිනන් බෲස් කූපර්ද මෙලොව හැර ගියේය. එහෙත් Operation Tracer හි නටඹුන් ජිබ්‍රල්ටා පර්වතය තුළට අදටත් සංචාරකයින් අද්දවන කාන්දමකි.

Ranjith P Bandara

Comments